(අංජුල මහික වීරරත්න සහ තිසර සමල්)

රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එක් නීති රාමුවක් යටතට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආර්ථික වශයෙන් කඩා වැටුණු ශ්‍රී ලංකාව යළි ගොඩනඟමින් සිටින අවස්ථාවේ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට නම් නව අධ්‍යාපන ක්‍රමයක් කඩිනමින් රටට හඳුන්වා දිය යුතු බව ද  ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ එප්පාවල සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස  එක් වෙමිනි.

අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලෝකයටම  සරසවියක් වන ආකාරයෙන් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් කඩිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා එම වැඩපිළිවෙළ ආරම්භ කර ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන්  සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි. 

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ   විද්‍යාලයට ප්‍රථම වරට ජනාධිපතිවරයෙක් පැමිණීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.