(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොල නගරයේ සුපිරි වෙළද සැලක් සඳහා අලුතින් ලබාදුන් රට බීමහලක බළපත්‍රයක්  ගම්වාසීන්ගේ විරෝධය හේතුවෙන් තාවකාලිකව අවලංගු කිරීමට  අද (10) අදාළ අංශ පියවර ගෙන ඇත.

වාරියපොල ප්‍රාදේශීය ලේකම්වරිය තම තනි මතයට මෙම බළපත්‍රය ලබාදුන් බවට චෝදනා කරමින් අද  උදෑසන වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු පිරිසක් විරෝධතාවයකට එක්ව සිටියහ.

එම අවස්ථාවේ එහි පැමිණි ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෙකු වන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා බළපත්‍රය තාවකාලිකව අවලංගු කළ බව  විරෝධතාකරුවන්ට පැවසීය.

මෙම විරෝධතාවය අතරතුරදී එම ස්ථානයට පැමිණි සමස්ථ ලංකා සාසනාරකෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති මහාචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක හිමියන් තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් ගොනුකල විරෝධතාවයන් නොසලකා තනි මතයට වාරියපොල ප්‍රාදේශීය ලේකම්වරිය විසින් මෙම මත්පැන් බළපත්‍රය ලබාදී ඇතැයි පැවසූහ.

 ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පතිරාජ මහත්මිය හමුවී ස්වකීය අප්‍රාසාදය පළකළහ.

එම අවස්ථාවට එක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා කියා සිටියේ මහා සංඝරත්නයේ සහ ප්‍රදේශයේ ජනතා විරෝධතා හමුවේ මෙම මත්පැන් බළපත්‍රය ලබා නොදෙන ලෙස තමන් ජනාධිපති ලේකම්වරයා පවා හමුවී ඉල්ලා සිටි බවයි.

එහෙත් එවන් වාතාවරණයක් මත විරෝධතා පවා තිබියදී ප්‍රාදේශීය ලේකම්වරිය මෙම බළපත්‍රයට තම තනි මතයට අනුමැතිය ලබාදී ඇති බව අමාත්‍යවරයා පැවසීය.