(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඇමැති පැටව් ගැස්සවීම වෙනුවෙන් වැය කරන මුදල් ජනතාවට ඖෂධ වර්ග සහන මිලට ලබාදීම වෙනුවෙන් වැය කරන්නැයි ඉල්ලීමක් කරන බව විපක්ෂනායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.

පවතින ආර්ථික තත්වය හේතුවෙන් වෛද්‍යවරුන් 500 දෙනකු පමණ පසුගිය කාලයේදී විදේශ රටවලට ගොස් ඇතැයිද  ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

විපක්ෂනායකවරයා මෙසේද සඳහන් කළේය.

වෛද්‍යවරුන් පන්සියයක් රට හැර ගොස් ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් අය යන බව ආරංචියි.මේ අය  තව දුරටත් ගියොත් රටේ සෞඛ්‍ය කඩා වැටෙනවා. නිසි කලට ඖෂධ සැපයීමට බාධා ඇතිවන බව වාර්තා වෙනවා. පුහුණු ඖෂධවේදීන්ගේ හිඟය මීට බලපා තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්යය නිසි පරිදි ඉටු වන්නේ නෑ. රාජ්‍ය  ඖෂධ සංස්ථාව ගෙවීම් නතර කිරීම නිසා  ඖෂධ සැපයීම අඩාල වෙලා. ඇමැති මණ්ඩලය වැඩි කිරීමට වැය කරන ප්‍රතිපාදන ඖෂධ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට  , සහන මිලකට ඖෂධ සැපයීමට කැප කරන්න. ඇමති පැටව් ගහනවට වඩා.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා:

මෙය වැදගත් ප්‍රශ්නයක්. විස්තර රැස්කර ගත යුතුයි. ලබන 29 වැනිදා ඊට පිළිතුරක් ලබාදෙන බව අමාත්‍යංශ ලේකම්දී තිබෙනවා.

ප්‍රේමදාස මහතා:

අද මේ අහන ප්‍රශ්නයට 29වැනිදා වෙනකන් ඉන්න අවශ්‍යද.

කතානායක:

ඒක ඉක්මනට ගන්න පුළුවන්ද කියලා ලේකම්ට කතා කරල මම බලන්නම්.

ප්‍රේමදාස මහතා:

29 වැනි දා වෙනකන් කල් ඉල්ලන්නේ මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් නැද්ද.මට ඒ පිළිතුර පිළිගන්න බැහැ. එතකන් අපි බලං ඉන්න ඕනද.