(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ධීවර සහ කෘෂි කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇතැයි රතු කුරුස සංවිධානය පවසයි. ධීවර සහ කෘෂි කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් එම කර්මාන්ත ආශ්‍රිතව රැකියාවේ නිරත වන දිනපතා වැටුප් ලබන පුද්ගලයන්ගේ වැටුපද සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇතැයි රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි.

ධීවර කර්මාන්තයේ යෙදෙන බෝට්ටු සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්ධන හිඟ වීම සහ ඉන්ධන මිල දරාගත නොහැකි වීම හේතුවෙන් ධීවර කටයුතු වලින් ඉවත් වී ඇති බවත් ඒ හේතුවෙන් එම බෝට්ටු වල රැකියා කළ පුද්ගලයන්ගේ ජීවනෝපායටද බලපෑම් එල්ල වී ඇති බවත් රතු කුරුස සංවිධානය සඳහන් කරයි. ජීවනෝපායට බලපෑම් එල්ල වීම හේතුවෙන් මිනිසුන්ගේ ආතතිය ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් මිනිසුන් අතර ඇති වන ගැටුම් සහ ආරවුල් නිරාකරණය කිරීම අපහසු වී ඇති බවත් රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි.

බීජ ලබා ගැනීමේදී අධික වියදමක් දැරීමට සිදු වීම සහ බීජ ප්‍රමාණවත් පරිදි ලබා ගැනීමට නොහැකි වීම කෘෂි කර්මාන්තයේ යෙදෙන්නන් මුහුණදෙන ප්‍රධාන ගැටළුවක් බව රතු කුරුස සංවිධානය පවසයි. දැරිය නොහැකි ඉන්ධන මිල සහ ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් බිම් සකස් කිරීම ඇතුළු පෙර වගා කටයුතු වලට බාධා එල්ල වී ඇති බවත් වගා කටයුතු නිසියාකාරව සිදු කිරීමට නොහැකි වීමෙන් අස්වැන්න අඩු වී ඇති බවත් රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි. ඒ හේතුවෙන් ගොවියන්ගේ ණය බර වැඩි වී ඇති බවත් කෘෂි කාර්මික උපකරණ මිලදී ගැනීමට ගොවියන්ට හැකියාවක් නොමැති බවත් රතු කුරුස සංවිධානය පවසයි.