( සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බොහෝ අමාත්‍යාංශ  යටතේ ඇති රාජ්‍ය ආයතන රැසක් වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.

මේ අනුව  සියලු අමාත්‍යාංශ  ඇති ආයතනවල වාර්ෂික වාර්තා ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි  අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බොහෝ බොහෝ ආයතන සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීම පැහැර හරින බවට මන්ත්‍රීවරු රැසක්  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී චෝදනා කළහ. අගමැතිවරයා ඉහත උපදෙස් ලබා දුන්නේ ඉන් අනතුරුවය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙන්ම අනෙකුත් අමාත්‍යංශ යටතේ ඇති එක් එක් ආයතනවල වාර්ෂික වාර්තා අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබාදීම එම ආයතන ප්‍රධානීන්ගේ සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීමක් බවද  අගමැතිවරයා පෙන්වා දුන්නේය.

එම උපදේශක කාරක සභා  රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 24 වැනිදා පැවැත්විණ.