(මහින්ද නිශ්ශංක)

ආනයනය කරන ලද කිරිපිටි කිලෝ ලක්ෂ හතරක තොගය නිදහස් කර ගැනීමට නොහැකිව කොළඹ වරායේ හිරවී ඇත්තේ ආනයන අපනායන පාලන දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අකාරක්ෂමතාවය නිසා බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි.

මෙම කිරිපිටි තොගය නිදහස් කිරීම සඳහා කිරිපිටි කිලෝවකට රුපියල් 800 බැගින් රුපියල් කෝටි 32ක දඩ මුදලක් ගෙවන ලෙස රේගුවෙන් දැනුම්දුන් බව ද ලක්ෂ්මන් මහතා කියයි.

කිරිපිටි සමාගම් දෙකක් මගින් ආනයනය කළ මෙම කිරිපිටි තොගය වටිනාකම රුපියල් ලක්ෂ 8000කි. කලට වෙලාවට කිරිපිටි තොගය නිදහස් නොකිරීම හේතුවෙන් කිරිපිටි කිලෝ ලක්ෂයක් පමණ කල් ඉකුත් වීමේ අවදානමක් පවතින බව ද එහු සඳහන් කරයි.

එසේම කිරිපිටි තොගය නියමිත කාලය තුළ නිදහස් නොකිරිම හේතුවෙන් සිදුවී තිබෙන විශාල අලාභය නිසා කිරිපිටි සමාගමක සේවකයන් 512කගේ රැකියා අහිමිවීමට ඉඩ කඩ තිබෙන බව මෙ සමාගම කියයි.

කිරිපිටි සමාගම් දෙක කිරිපිටි ගෙන්වීම පිළිබඳව නිවැරදි හා නියමිත ක්‍රම අනුගමනය කර ඇතත් ඒ බව ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව රේගුවට දන්වා ඇත්තේ දින 25ක ප්‍රමාදනයකින් බවද පවසන ඒ මහතා රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධිකරණයක් නොමැතිවීම හේතුවෙන් දැයේ දරුවන් ලක්ෂ 16කට ගෙනා කිරිපිටි තොගය තවමත් වරායේ හිරවී තිබීම අපරාධයකි.