(අංජුල මහික වීරරත්න සහ රංජිත් රාජපක්ෂ)

 ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශ වල පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට අදාළ පළාත් සහ දිස්ත්‍රික්ක බලධාරීන්ට බලය ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  පැවසුවාය.

අවදානම් ප්‍රදේශවල පිහිටා ඇති පාසල් ආරම්භ කිරීමට පෙර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ ලබා ගත යුතු බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

ප්‍රවේශ මාර්ග සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකළ යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරිය  දුෂ්කරතා වලට මුහුණ දුන් ගුරුවරුන්  සහ දරුවන්ට පහසු ඇඳුමක් පැළදීමේ අවස්ථාව ලබා දිය යුතු බව ද සඳහන් කළා ය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ආපදා තත්ත්වයෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සහ පාසල් නැවත ආරම්භ කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන බලධාරීන් සමඟ නුවරඑළිය  නගර සභා ශාලාවේ පැවති සාකච්ඡාව අමතමිනි.