(ඩයනා උදයංගනී)

ඉදිරි මැතිවරණයකදී වත්මන් රජය නියෝජනය කරන කණ්ඩායමට සියයට 20කවත් ජනතා සහයෝගයක් නොලැබෙන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

ඔවුන් එය දන්නා නිසා කුමන හෝ උප්පරවැට්ටියකින් පළාත් පාලන මැතිවරණය මැතිවරණ කල්දැමීමට උත්හාහ කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා කීවේය.

රටේ විවිධ කණ්ඩායම් විවිධ මත දරණ බව කී ජී.එල් පීරිස් මහතා කොළඹ දී ඊයේ (2) පැවති විරෝධතාව අතරතුර ඇති වූ සිද්ධිය විපක්‍ෂනායකවරයා ප්‍රතික්‍ෂේපවීමක් ලෙස තමන් නොදකින බව ද සඳහන් කළේය.

මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වර්ෂය අවසානයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය ආධාර ලැබෙනු ඇතැයි රජය අපේක්‍ෂා කළත්, එහිදී රජයේ සුජාතභාවය තමන්ට වැදගත් බවත්, තමන් ගනුදෙනු කිරීමට සූදානම් ජන වරමක් ඇති රජයක් සමඟ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.