(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය සම්බන්ධයෙන්  ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් ඇයට අපහාසයක් වූ බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන්  පාර්ලිමේන්තුවේ නොසන්සුන්  තත්වයක් අද (8) පෙරවරුවේ ඇතිවිය.

රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ

මේ තත්ත්වය ඇති වූයේ රොහිණී කුමාරී විජේරත්න මහත්මිය විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පිළිතුරු දෙමින් සිටි අවස්ථාවේදීය.

විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න රැසකට විසඳුම්දී ඇති අවස්ථාවක රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ඒ ගැන සතුටු නොවීම ගැටළුවක් බවත් ඇය සතුටු කරන ආකාරය කෙසේ දැයි තමා නොදන්නා බවත් ඔහු එහිදී කියා සිටියේය.

මෙය ලොකු අපහාසාත්මක ප්‍රකාශයක් බව විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල, මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ සහ චමින්ද විජේසිරි මහත්වරු කෑකෝ ගසමින් මූලාසනයට පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

රෝහිණි කුමාරි මන්ත්‍රීතුමියට වරදක් වෙලා තියෙනවා නම් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කියනවා.අනවශ්‍ය වචන තියනවනම් ඉවත් කරන්න මම නියෝග දීලා තියෙනවා. වරදක් වෙලා තියෙනවා නම් ක්‍රියාමාර්ග ගන්නවා.

කතානායකතුමා ආවම හඬ පටය බලලා තීරණයක් දෙන්නම්. රටේ හැමදෙනාම පාර්ලිමේන්තුව දිහා බලාගෙන ඉන්නවා ඒ නිසා මේක අවලස්සන කරන්න එපා.

(විපක්ෂයේ මන්ත්‍රීවරු කෑකෝ ගසති)

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

ඉල්ලා අස්කර ගත යුතු වචන ඔබතුමා එතුමට කියන්න ඕන.  ඔහු මේ අපහාස කළේ පාර්ලිමේන්තුව ඇතුළේ.