(රංජිත් රාජපක්ෂ )

ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හදුන්වාදි ජාත්‍යන්තර වර්තාවක් තැබිමට හැටන් කොටගල ප්‍රදේශයේ අවුරුදු තුනක දැරියක් සමත් වි ඇත.

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන International Book Of Records නැමති ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම සදහා අන්තර්ජාලය ඔස්සේ එම දැරිය ඉකුත් අප්‍රේල් මස (06) දින ඉදිරිපත් වි තිබේ.

සෙන්තුල් කුමාර් භවිෂනා (03) නැමති එම දැරිය පරිගණකයෙන් ලෝක රාජ්‍ය නායකයින්ගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නාමයන් විනාඩියයි තත්පර 06 කින් නම් කර එම වාර්තාව තැබු බව එම දැරියගේ පියා වන සෙන්තුල් කුමාර් මහතා පැවසිය.

තම දියණිය විසින් ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම හේතුවෙන් ඇයට හිමි සහතිකය සහ පදක්කම තම දැරිය වෙත මේ වන විට එවා ඇති බව දැරියගේ පියා කියා සිටියේය.

කොටගල ඩ්‍රෙටන් වතුයායේ පදිංචි තමන් වෘත්තියෙන් කොටගල තැපැල් කාර්යාලයේ සේවය කරන බවත්, තම බිරිද ගුරු වෘත්තියේ නියැලි සිටින බවත්, වාර්තාව පිහිටවනු ලැබුවේ තම වැඩිමහල් දියණිය බවත් සෙන්තුල් කුමාර් මහතා කියා සිටියේය.

මෙම දැරිය ජාත්‍යන්තර වාර්තාවක් තැබිම සම්බන්ධයෙන් කොටගල වෙළද සංගමයේ සභාපති විශ්වනාත් පුෂ්පා මහතා ඇතුළු වෙළද සංගමයේ සමාජිකයන් ඇයගේ නිවස වෙත ගොස් එම දැරියට උපහාර දැක්විමක්ද සිදු කෙරිණ.