ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ ඉන්දියාව වසර හතරකට පසු ප්‍රථම වතාවට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය තීරණය කර ඇත.

ඒ අනුව, දිල්ලියේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 3 කට වඩා වැඩි අගයකි.

ඇමෙරිකා ඉරාන යුදස ගැටුම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන්, බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 120 සීමාව ඉක්මවා ගිය අතර, වත්මන් මිල සංශෝධනය සිදු වන විට එය ඩොලර් 100ත් 105ත් අතර මට්ටමක පැවතිණි.

ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතරින් ඉන්ධන මිල ඉහළ දැමීම අවසන් මොහොත දක්වා ප්‍රමාද කළ රටක් ලෙස ඉන්දියාව හැඳින්විය හැකි යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

නව මිල සංශෝධනයට අනුව, දිල්ලීයේ ඩීසල් ලීටරයක මිල රුපියල් 90.67ක් දක්වාත්, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 97.77ක් දක්වාත් ඉහළ ගොස් ඇත.

ඉන්දියාවේ ඉන්ධන පිරවුම්හල් ජාලයෙන් සියයට 90 කට වඩා පාලනය කරන ඉන්ඩියන් ඔයිල්, හින්දුස්ථාන් පෙට්‍රෝලියම් සහ භාරත් පෙට්‍රෝලියම්  යන රාජ්‍ය සමාගම් විසින් මෙම මිල තීරණය කර ඇත.

ඉන්දියාවේ මෑතකදී පැවති ප්‍රාන්ත මැතිවරණ හේතුවෙන් රජය මෙම මිල ඉහළ දැමීම අත්හිටුවා තිබූ බවට විපක්ෂය සහ දේශපාලන විශ්ලේෂකයෝ චෝදනා කරති.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය තහවුරු කර ගැනීමෙන් පසු මෙම තීරණය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

මේ අතර, ඉහළ යන බලශක්ති පිරිවැය හමුවේ විදේශ සංචිත රැක ගැනීම සඳහා ඉන්ධන සංරක්ෂණය කරන ලෙසත්, හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කරන ලෙසත් අග්‍රාමාත්‍ය මෝදි පසුගියදා ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් ද කළේය.