(විමුක්ති එස් රුද්‍රිගු)

නව සෞඛ්‍ය අමාත්‍යවරයා දිවුරුම්දී සතියක් යන්නට මත්තෙන් රාජකාරි වැඩ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඔහුට හිතවත් වෛද්‍ය පරිපාලක නිලධාරී කණ්ඩායමක් සමඟ විදේශ සංචාරයකට ගොස් ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට කළ අපහාසයකට සමාන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මක්නිසාද යත් මෙම වසරේ මුල් මාස 6 තුළ විදෙස් සංචාර 7 කට සහභාගී වීම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ වෘත්තීය සමිති කළ පැමිණිලි මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ විදේශ සංචාර නවතා දමන ලෙස උපදෙස් ලබා දී තිබූ බවත් අමාත්‍ය ධුරය වෙනස් වූ සැණින් නැවතත් ඔහුට හිතවත් වෛද්‍ය පරිපාලක නිලධාරී පිරිසක් සමඟ රාජකාරි කටයුතු සඳහා විදෙස් සංචාරයකට ගොස් ඇති බවත් ආරංචි මාර්ග පැවසුවේය.

එය නව අමාත්‍යවරයාට සිදු කළ අපහාසයක් බඳු යැයි ආරංචි මාර්ග ප්‍රකශ්ග කළේය.

රාජකාරි කටයුතු සඳහා විදේශ ගත වීම අත්‍යාවශ්‍ය නම් එම නිලධාරියා පමණක් ඒ සඳහා සහභාගී නොවී පිරිසක් රැගෙන යන්නේ මන්දැයි ආරංචි මාර්ග ප්‍රශ්න කළේය.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද රැසක් මතුව තිබෙන මොහොතක සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට ශ්‍රී ලංකාවේ සිට රාජකාරි කටයුතු කිරීමට නොහැකි මන්දැයි නොතේරෙන බව ආරංචි මාර්ග පැවසුවේය.

නවීන තාක්ෂණයත් සමඟ එසේ කිරීම අපහසු නොවන බවද ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.එමනිසා ඖෂධ හිඟය අවසන් කර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද විසඳන තෙක් සියලුම නිලධාරීන්ගේ විදේශ සංචාර නවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවද ආරංචි මාර්ග පැවසුවේය.