(නිමල් ජයරත්න සහ මදුෂානි අබේසිංහ)

මහියංගන දිඹුලාගල ප්‍රධාන මාර්ගයේ බදනාගල ප්‍රදේශයේදී අද  අලුයම 1.00 ට පමණ වෑන් රථයක් වන අලියකුගේ ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක මියගොස් 16 දෙනකු තුවාල ලබා දෙහිඅත්තකන්ඩිය සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇති බව සිරිපුර පොලිසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය නාගස්වැව අංක 198 ලිපිනයේ පදිංචිව සිටි රාජපක්ෂ දේවයලාගේ කරුණාවතී 61 වියති මවක බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන සිරිපුර පොලිසිය පවසයි.

වෙසක් සතිය නිමිත්තෙන් පොළොන්නරුවේ වන්දනාවේ ගොස් ආපසු දෙහිඅත්තකන්ඩිය බලා පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බව සිරිපුර පොලිස් ස්ථානාධිපති,පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ටි.එම්.ආර්.එස්. වන්නිනායක මහතා අප කළ විමසීමකදී පැවසීය.

තුවාල ලැබූ 15 දෙනාගෙන් හය දෙනකු පොළොන්නරුව මහ රෝහලටත් හය දෙනෙකු දෙහිඅත්තකණ්ඩිය රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව සිරිපුර පොලිස් ස්ථානාධිපති, වන්නිනායක මහතා වැඩිදුරටත් පැවසීය.