(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැඳුම්කර කොමිසමට බොරු කීම සම්බන්ධයෙන් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනු කළ හැකි බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අද (01) කොමිසමට දැනුම් දුන්නේය.
අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් හෙට දින (02) ප‍්‍රකාශයට පත් කරන බව කොමිසම අද (01) වැඩිදුරටත් නියම කළේය.
කොමිසමේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා මීට පෙර අවස්ථාවකදී කළ ඉල්ලීමකට අනුව අර්ජුන් ඇලෝසියස් මහතා 2016 ඔක්තොම්බර් මාසයේදී භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ (Password) සහ භාවිත නාමය (User Name) ආදී කරුණු විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසද නියම කෙරිණි.
2015 වර්ෂයේ සිට මේ දක්වා අර්ජුන් මහෙන්ද්‍රන් මහතා භාවිතා කරන සියළුම ඩිජිටල් තාක්‍ෂණ උපකරණ ඩිජිටල් වෝහාරික පරීක්‍ෂණයකට ලක් කළ යුතුයැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කරන ලද ඇයැදුමක් පිළිගනිමින් අදාළ උපකරණ කොමිසම බාරයට පත් කරන ලෙස මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට කොමිසම නියම කළේය.
කොමිසමේ සාක්කි විභාග කරන අතරතුර පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කොමිසම අමතමින් තම සේවාදායකයා ජංගම දුරකතනය මිලදී ගෙන ඇත්තේ සිංගප්පුරූවෙන් යැයි කීය.
ජංගම දුරකතනය සිංගප්පුරූවෙන් මිලදී ගැනීමෙන් අනතුරුව තම සේවාදායකයා එම ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ සහ භාවිත නාමය ආදී යොදන ලද්දේත් සිංගප්පුරූවේදී නිසා මේ වන විට ඔහුට ඒය මතක නැතැයිද ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කොමිසමට දැනුම් දුන්නේය.
කොමිසමේ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා-“ ඔබගේ සේවාදායකයා ඔහුගේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ සහ භාවිත නාමය ආදී කරුණු දැනුම් දෙන්නේ නැත්නම් අපි ඒ කරුණු වෙනත් ක‍්‍රමයකින් ලබාගැනීමට කටයුතු කරනවා.“
අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා.-“ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසමට කියන්නේ බොරු, ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනු කළ හැකියි.“
අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා-“අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්න.“
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ කොමිසම මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් හෙට දින (02) ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.