(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජය පසුගිය 2023 වසර අයවැයේ  යෝජනා 77න් 69 ක් මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (14)  පැවසීය

එම යෝජනා ක්‍රියාත්මක නොකර ලබන වසරේ අයවැය යෝජනා  ක්‍රියාත්මක කිරීම ගැන  විශ්වාසනීයත්වයක් ඇති කර ගන්නේ කෙසේදැයි  ඔහු ප්‍රශ්න කළේය.

අයවැයෙන් ටොම් පච යෝජනා ඉදිරිපත් නොකළ යුතු බවද ප්‍රේමදාස මහතා කීවේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.

රජය පසුගිය අයවැය යෝජනා ක්‍රියාත්මක කර නැහැ. රජය නව වසර සඳහා ඉදිරිපත් කළ අයවැයේ  සාර්ථකත්වය අපේක්ෂා කළ හැක්කේ පසුගිය රජය අය-වැය සම්බන්ධයෙන් ඉටුකළ  ප්‍රමාණය අනුවයි. අයවැයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු අනුමැතිය ගැනීමෙන් පසු රජයේ වගකීම අවසන් වන්නේ නැහැ. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට රජය සහ නිලධාරීන් වගබලා ගත යුතුයි.

2023 වර්ෂය සඳහා  රජය ඉදිරිපත් කළ අයවැය මගින් කොපමණ අයවැය යෝජනා ඉදිරිපත් කර තිබේද.අයවැය ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළේද. 2023 අයවැය යෝජනා පිළිබඳව කිසිදු තොරතුරක් නැතැයි  වෙරිටේස් රිසර්ච් ආයතනය සමීක්ෂණයකින් කියනවා. විනිවිදභාවයක්  නෑ කියනවා. පසුගිය වසරේ වැඩිම මුදල් වෙන්කර ව්‍යාප්ති 25න් 14ක කිසිදු තොරතුරු නැති බව කියනවා. අයවැයක විශ්වාසනීය භාවය පිළිබඳව එය ඉදිරිපත් කරන රජයේ වගකීමක්.  විවාද කරපු යෝජනා 77න්  69 ක සම්පූර්ණතාවයක් නැහැ. 2024 අයවැය යෝජනා පිළිබඳව විශ්වාසයක් තබන්නට නම් අඩු තරමින් 2023 යෝජනා වල සම්පූර්ණත්වයක් තිබිය යුතුයි. රටට බොරු කියන්න එපා. රට මං මුලා කරන්න එපා. 2024 යෝජනා හදන්න කලින් 2023 යෝජනාවල ප්‍රගතිය බලන්නේ නැද්ද. කිසිම පසුවිපරමක් නැහැ. 2023 යෝජනා ක්‍රියාත්මක කිරීමේදී අන්ත දුර්වල ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙනවා.  අයවැයට ටොන් පච  යෝජනා ඉදිරිපත් කරන්න එපා.