(ඩයනා උදයංගනී)

අයවැයට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

අයවැයට විරුද්ධව ඡන්දයදීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය ඔහුට ද අදාළ බවත්, එතුම ද මධ්‍යම කාරක සභාවට සහභාගී වී සිටි බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.  

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළිත් පක්‍ෂයේ බලය අල්ලයිද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ඒ ගැන කිසිම බයක් නොමැති අතර, ඕනෑම අයකුට පක්‍ෂයට ආ හැකි බවයි.