
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසියක් වන දේපළ බද්ද, ලබන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය.
දෙවැනි හෝ අමතර නිවෙසක් තිබෙන පුද්ගලයන්ට ඉදිරි අයවැයෙන් බද්දක් පැනවිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇත. කෙසේ නමුත් දේපළ බද්ද හඳුන්වාදීම පිළිබඳ යම් බදු පියවරක් ලබන වසරේ අයවැයට ඇතුළත් කරන්නේද නැද්ද යන්න පිළිබඳවත් , ඊට අදාළ බදු පියවරයන් ක්‍රියාත්මක කරන නිශ්චිත කාලය සහ ව්‍යුහය පිළිබඳවත් රජය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.
සාමාන්‍යයෙන් දේපළවලට බදු අයකිරීම විධිමත්ව සකස් කළ බදු ක්රමයක වැදගත් හා ඵලදායී අංගයක් බවත් රජයට ලැබෙන දේශීය ආදායම තවත් ශක්තිමත් කිරීමට එය ප්‍රබල කාර්යභාර්යයක් ඉටුකරන බවත් එම අරමුදල සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය සපයා තිබෙන බවද එම අරමුදල පැවැසුවේය.
ශ්‍රී ලංකාවේ බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම සහ සාධාරණ එකක් බවට පත්කිරීම සඳහා "මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයක් " සකස් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට නිර්දේශ කර තිබෙන බව එම අරමුදල පෙන්වා දුන්නේය.
රජයට නිර්දේශ කර ඇති මධ්‍යකාලීන උපාය මාර්ගය යටතේ නව බදු හඳුන්වාදීම, බදු ගෙවන පිරිස වැඩි කිරීම, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ ලබාදෙන බදු සහන අවශ්‍යම අවස්ථාවලදී පමණක් ලබාදීම සඳහා වන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදයෙන් පසුව ඉතා පහළ මට්ටමක පැවති රාජ්‍ය ආදායම සාර්ථකව වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන බවත් මූල්‍ය තිරසාරත්වය තහවුරු කිරීමට සහ ප්‍රමුඛතා වියදම් පියවා ගැනීමට එම ජයග්‍රහණ අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.
ඉදිරියට යාමේදී මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයක් මගින් බදු පද්ධතියේ කාර්යක්ෂමතාව, සාධාරණත්වය සහ සරල බව ඉහළ නැංවිය හැකි බවත් එය තිරසාර රාජ්‍ය ආදායම් උත්පාදනයට මෙන්ම ආර්ථික වර්ධනයටද හේතු වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
දේපළ බද්ද යනු පුද්ගලයෙකු සතු ඉඩම්, නිවාස සහ ගොඩනැගිලි වැනි නිශ්චල දේපළවල වටිනාකම මත පදනම්ව අය කෙරෙන සෘජු බදු ක්රමයකි. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන මඟින් දැනටමත් දේශීයව තක්සේරු බදු අය කළද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා මත ජාතික මට්ටමේ පුළුල් දේපළ බද්දක් 2027 වර්ෂයේදී හඳුන්වා දීමට නියමිතව තිබේ. යම් පුද්ගලයෙකු සතු නිශ්චල දේපළ හෝ අමතර දේපළ(පදිංචිවී සිටින නිවස හැර තවත් නිවාස) ඉලක්ක කර ගනිමින් මෙය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී ගෙවන වක්‍ර බදු මෙන් නොව, මෙය සෘජු වත්කම් මත පදනම් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇති දේපළ බද්ද ලබන වසරේ අයවැය යෝජනාවලට ඇතුළත් කිරීම පිළිබඳ රජය සහ එම අරමුදල අතර එකිනෙකට වෙනස් මත දෙකක් ගොඩනැගී තිබේ. දෙවැනි හෝ අමතර නිවසක් තිබෙන පුද්ගලයන්ට ඉදිරි අයවැයෙන් බද්දක් පැනවිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇතත් ආදායම් ඉලක්ක සපුරා ඇති බැවින් සහ ආදායම වැඩිකර ගැනීමට තවත් මාර්ග තිබීම හේතුවෙන් එවැනි බද්දක් අවශ්‍ය නොවන බව රජයේ මතය වී ඇත.
ලබන වසරේ රජයේ ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා පවතින ආදායම් ප්‍රමාණවත් බවත් ඒ හේතුවෙන් නව දේපළ බද්දක් හඳුන්වාදීමට අවශ්‍ය නොවන බවත් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබිණි.
එවැනි බද්දක් පැනවීමට පුද්ගලයන් හිමි දේපළ පිළිබඳ නිවැරදි දත්ත ගබඩාවක් අවශ්‍ය බවත් ඒ සඳහා සැලකිය යුතු කාලයක් අවශ්‍ය බවත් රජයේ මතය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd