(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ 7 වන සමාලෝචනයට නිලධාරී මට්ටමේ අනුමැතිය හිමි වූ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර සාකච්ඡාවේදී මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණ තිබේ.

එම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 345කට ආසන්න මූල්‍ය පහසුකමක් ලබාගැනීමට හැකි වනු ඇත. ඒ සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 2.7ක සම්පූර්ණ මූල්‍ය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට හිමිවේ.

7 වන සමාලෝචනයට කාර්ය මණ්ඩල අනුමැතිය ලැබීම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව විසින් අවධානයට ලක්කරනු ලබන කරුණු වන 2027 වසරේ අයවැය ඉදිරිපත් කිරීමට අදාළ කටයුතු, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු බහුපාර්ශ්වීය ආයතන මගින් රටේ විදෙස් සංචිත ඉහළ නංවා ගැනීමට අදාළ අරමුදල් සම්පාදන කටයුතු සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතින නිසා 7 වන සමාලෝචනය සඳහා විධායක සභාවේ අනුමැතිය නිසැක වශයෙන්ම ලැබෙනු ඇති බවයි.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සැප්තැම්බර් 10 වනදා සිට 23 වනදා දක්වා මෙරට සිදුකළ සංචාරයෙන් පසුව 7 වන සමාලෝචනය අසාර්ථක වනු ඇති බවට යම් මාධ්‍ය විසින් ජනතාව නොමඟ යවන ආකාරයේ වාර්තා පළ කර තිබූ බවද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිවේදනය උපුටා දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට සමත් වුවත් මැදපෙරදිග යුද තත්ත්වය, ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති හා එල්-නිනෝ තත්ත්වය හමුවේ ලෝකයේ අනෙකුත් රටවල් මුහුණ දෙන අවදානම ශ්‍රී ලංකාවටද බලපාන බවයි. කෙසේ නමුත් විවිධ බාහිර කම්පනවලට මුහුණ දිය හැකි ලෙස ආර්ථිකය මේ වන විට ස්ථාවර කිරීමට හැකිව තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.