(අංජුල මහික වීරරත්න)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සීරිසේන මහතා විසින් හෙට  (30) පස්වරුවේ  කැඳවා ඇති විධායක සභා රැස්වීම පැවැත්වුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියකින් දන්වා තිබේ.

තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස කටයුතු කරන්නේ තමා හෙයින් එක්සත් ජනතා නිදහස් සංධානයේ ව්‍යවස්ථාව අනුව  රැස්වීමක් කැඳවීමට බලය ඇත්තේ තමාට බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට රැස්වීමක් කැඳවීමට කිසිදු බලයක් නැති බවත් මහින්ද අමරවීර මහතා එම ලිපියෙන් සඳහන් කරයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා කැඳවා ඇති රැස්වීම ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී රැස්වීමක් බවත් මෙම තත්ත්වය නිවැරදි කිරීමට වහාම පියවර ගෙන රැස්වීම අවලංගු කරන ලෙසත් මහින්ද අමරවීර මහතා ඉල්ලා සිටී.

රැස්වීම අවලංගු නොකළහොත් ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී රැස්වීමක් කැඳවීම  පිළිබඳ නීති ක්‍රියාමාර්ග ගන්නා බවද මහින්ද අමරවීර මහතා එම ලිපියෙන් අවධාරණය කරයි.