යුද්ධය අවසන් වීමෙන් පසු වසර පහක් ගතව ගොස් ඇති කාලය කෙසේ විය හැකිව තිබුණිදැයි මගේ සිතෙහි නැඟෙන පැණයකි.
එම පැණයට මා සපයන පිළිතුරේ මුලින්ම සිටින්නේ ජනාධිපතිවරයෙකි.ඔහු යුද්ධයෙන් වඩාත්ම බැට කෑ උතුරේ හා නැගෙනහිර ජනතාවට, රජය යුද වැද සිටියේ දරුණු ගණයේ සතුරකු හා සමග යැයි පැහැදිලි කර දෙන්නෙකි.ඔහු එම ජනතාව මුහුණදුන් සියලු ආකාරයේ බාධා කම්කොටලු සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීන්නෙකි.නැවත එවැනි තත්ත්වයක් ඇති නොවීමට ඔහු පියවර ගැනීමට ඔහු එම ජනතාව හමුවේ පොරොන්දු වන්නෙකි.එම පොරොන්දු වූ පරිදිම ඒවා ක්‍රියාවටත් නංවන්නෙකි.
අනතුරුව සිටින්නේ යුද අපරාධ සිදුකර ඇතැයි චෝදනා ලබා සිටින හමුදාවකි.ඔවුහු විනය මහත් ඉහළින් සළකන්නෝය.අයුක්තිය හා ආසාධාරණය නොඉවසන බව පවසන්නෝය. තවද නැඟෙන චෝදනා වලට වැරදිකරැවන් සිටින්නේනම් ඔවුන්ට දැඩි දඩුවම් පැමිණවිය යුතුයැයි මතයේ සිටින්නෝය.මේ සියලු දේ කියද්දී හා කෙරෙද්දී ඔවුහු රටේ සිවිල් පාලන තන්ත්‍රයට, එයට අවැසි පරිදි වැඩකටයුතු කර ගැනීමට ඉඩ දී බැරැක්ක වලට වී සිට උපේක්ෂා සහගතව බලා සිටින්නෝය.
ඊළගට සිටින්නේ සමාජයයි. ඔවුහු බහුතරය ඔවුන්ගේ දෙමළ ජාතික සහෝදර සහෝදරියන් වෙත මිත්‍රත්වයේ දෑත දිගුකරන්නෝය.අපි ඔබගේ අරමුණු ගැන නොදැන සිටියෙමු.අපි දැන් පටන් විනිවිදභාවයකින් යුතු කිසිවෙකුටත් වෙන් වෙන්ව නොසළකන එක්සත් ශ්‍රිලංකාවක් ගොඩ නඟන්නට එකතුවන්නෙමු යැයි පවසන්නෝය.
මේ අතර දෙමළ සමාජයද ඔවුන්ගේ පෙර වැරදි අවබෝධ කරගනිමින් අදහස් පළ කරන්නෝය.අපට සමාවන්න මේ වගේ කෘර සංවිධානයක් වෙනුවෙන්, අපේ සහය ලබා දුන්නාට. ඔවුන්ගේ ප්‍රචාර වලට අප රැවටිලයි සිටියේ. දැන් විවෘතව හා නිරවුල්ව කතා කරමු.අපි ඔබ පවසන දේ හා එකග වන්නේ නැති නම් අප පොරොන්දු වනවා අප නගන විරෝධතා සාමකාමි වනු ඇති බවට,යැයි කියන්නෝය.
විදෙශ අමාත්‍යංශය මැදිහත්වී රජය ඉදිරියට කටයුතු කළ යුතු ආකාරය ගැන උපදෙස් දෙන්නේය.චෝදනා නගන සියලු අන්තර්ජාතික ප්‍රජාවේ සාමාජිකයින් සියලු දෙනා හා සහයෝගයෙන් වැඩ කිරීමේ වැදගත්කමත් ඔවුන් මානව හිමිකම් කඩවීමේ චෝදනා සම්බන්ධයෙන් නඟන චෝදනා ගැනත් වෙන් වෙන්ව විමසා බැලීමටත් කටයුතු කිරීම සදහා රජය මෙහෙයවන්නේය.පක්ෂග්‍රාහී නොවී වැඩකටයුතු කළ යුතුවීමේ වැදගත්කම පෙන්වා දෙන්නේය.
මෙවන් වාතාවරණයක් රටේ උද්ගතවී නම් එය අපගේ ජනතාවගේ උදාර භාවය පෙන්වා දෙන්නක් විය හැකිව තිබුණි.සියලු ආධාර අප රටට ලැබී අප සතුටින් පිරි කාලයක් ගත කළ හැකිව තිබිණි. එවන් කාලයක් උදා වූයේ නම් කාලය කොපමණ මිහිරි වන්නට ඉඩ තිබුණාද මා මේ ගැන සිතමින් සිටියදී නීලන් හා සිතී තිරුචෙල්වම් මා අමතන්නා සේ මට ඇසේ.‘‘රාධිකා ඔබ නැවත සිහින දකිමිනුයි සිටින්නේ‘‘ ඔවුහු කියන්නෝය.
අපට සැබෑවටම තිබෙන්නේ මොනවාද
මගේ මනෝ රාජ්‍යය නොව අපට සැබෑවටම තිබෙන්නේ මොනවාද?
ජනාධිපතිවරයා හා රජය විමුක්තියෙන් උදම්ව කටයුතු කරමින් සිටිනු පෙනේ.මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ සොහොන් පෙරළා ඔවුහු ඒවා මත යුද ස්මාරක ගොඩනගමින් සිටිති.යුධ අවි අත දරා සිටින සොල්දාදුවන්ගේ පිළිරූ උතුරැ හා නැගෙනහිර පළාත් පුරා විශේෂයෙන් දුසිම් ගණනක් වන හමුදා කඳවුරු ඉදිරියේ පිහිටුවා ඇත.මනාව නඩත්තු කෙරෙන පාරවල් වල සවිකර ඇති පුවරැ වල ඇත්තේ සිංහල හා ඉංග්‍රීසි යෙන් ලියැවුණු වදන් පමණකි.දෙමළ සිසුවෝ සිංහලෙන් ජාතික ගීය ගයන්නෝය.ඔවුන් තමන් පවසන්නේ කුමක් කියාවත් නොදනී. රටේ ව්‍යවස්ථාවේම දෙමළ බසින් ලියැවුණු ජාතික ගීයක් තිබියදීය, ඔවුන් සිංහලෙන් එය ගයන්නේ.
යුද අපරාධ සිදුකර ඇතැයි චෝදනා නැගද්දී, ඒවාට සාක්කි ලෙස සිත් කළඹවන සුළු දර්ශන අන්තර්ගත වීඩියෝවන් ලොව පුරා සංසරණයව වෙමින් තිබියදී ඒවා ශ්‍රීලංකා වාසීන් හැර අන් සියලු දෙනා නරඹා ඇති වාතාවරණයක් උද්ගතව තිබියදී, කිසිවෙකුත් එකදු හෝ විධිමත් පරීක්ෂණයක් මේ සම්බන්ධයෙන් ආරම්භ කිරීමට කටයුතු කර නැත.මෙවන් චෝදනාවන් නැඟී තිබියදී පරීක්ෂණයක් නොකර සිටීමට තරම් නීතිය වල්වැදී තිබීමේ ආදීනව සමාජයේ සියලු කොටස් වෙත පැතිර ඇත.ආරක්ෂක අංශ දැන් ක්‍රියාත්මක වෙමින් සිටින්නේ විසල් වෙළද ව්‍යාපාරයක් ලෙසටය.ඔවුහු උතුරේ හා නැගෙනහිර ප්‍රදේශ වල ඉඩම් මිලට ගනිමින් සිවිල් වැසියන් කළ යුතුව ඇති දෑ වලට අත ගසා සිටිති.සිවිල් වැසියන්ගේ රැකියා දැන් ඔවුන් අතය.
බුද්ධි අංශ සාමාජිකයෝ සෑම තැනකම සිටිති.ඔවුහු සියලු ආකාරයේ සම්මන්ත්‍රණ වලට පැමිණෙති.(2009 වසරට පෙර ආරක්ෂක අමාත්‍යංශ කිසිදු සාමාජිකයකු කිසිදු ආකාරයක සම්මන්ත්‍රණයකට පැමිණියායැයි මගේ මතකයක් නැත) ඔවුහු ඔබ හමුවට ආරාධනා ඇතුව හෝ නැතුවම පැමිණෙන්නෝය.විශේෂයෙන් ඔබ අන්තර්ජාතික තලයේ හෝ විපක්ෂයේ හෝ වැදගත් පුද්ගලයෙකු හමුවූයේ නම් ඔවුහු ඔබ සොයා එන්නෝය.චීනයෙන් ලබාගෙන ඇති තාක්ෂණික උපකරණ ආධාරයෙන් දුරකථන හා අන්තර්ජාල භාවිත ගැන සියලු දේ නීරීක්ෂණය කිරීමේ හැකියාව දැන් ඇතැයි ආරක්ෂක ලේකම් මේ අතර පවසන්නේය.
වරදට සමාව ඉල්ලන්නෝ
1980 කාලයේ මාක්ස්වාදීන් හා ලිබරල්වාදීන් හා උරෙනුර ගැටෙමින් ප්‍රජාතන්ත්‍රවාදය හා බහුතර මතය වෙනුවෙන් පෙනී සිටියෝ දැන් ආරක්ෂක අංශ වලින් සමාව ඉල්ලන තත්ත්වයට පත්ව සිටිති.ඊට අමතරව පවතින තත්ත්වයට අනුව ප්‍රජාතන්ත්‍රවාදයට හා බහුතර කැමැත්තට අඩු දෙයකට පවා අප සියලු දෙනා කැමැත්ත පළ කළ යුතුව ඇතැයි කියති.මොවුන්ගේ ළගම මිතුරෝ රටම හොදින් දැන හදුනන වර්ගවාදියෝය.කුමන හේතුවක් නිසාදෝ මෙම පුද්ගලයින් තමන්ගේ පුවත්පත්හි සංස්කාරකවරුන් හා ඒවායේ මැද පිටු පිරවීම සදහා ලියන්නන් ලෙස යොදා ගැනීමට රජය කටයුතු කර තිබේ.
කොළඹ පැවැත්වෙන ඇතැම් රාත්‍රි සාද වලදී දැන් වර්ගවාදී අදහස් ප්‍රකාශනය යෙදීම දැන් විලාසිතාවක්ව වී තිබේ.දෙමළ ආරාධිතයින් සිටියදීම එවැනි ප්‍රකාශ කරන්නෝ සිටිති.ඔවුන්ට දේශපාලන නිවැරදිභාවයක් ගැන සිහියක් නැත. සංවේදී යැයි කියාගන්නා ඇතැම් පුද්ගලයින් ජනමාධ්‍යෙව්දීන් මරබියේ ජීවත්වෙද්දී,විපක්ෂය හැර පාලන තන්ත්‍රයේ යහපැවැත්මට වැදගත්වන සියලු ආයතනයන් විනාශ කිරීමට රජය කටයුතු කරමින් සිටිද්දී අප සැකයේ වාසිය ප්‍රභාකරන් විනාශ කළ අපේ ජනපති වෙත ලබාදිය යුතුව ඇතැයි කියයි.සැබෑවටම රට ගැන සංවේදී දැන් සිටින්නේ මළවුන් අතර හෝ විදෙස් රටකට පළා ගොස් හෝ සමාජයෙන් වෙන්ව තනිව වෙසෙමින්ය.
දෙමළ සමාජය ගැන සැලැකීමේදී ලෙයින් රත් පැහැගැන්වුණු අත් ඇති එල්.ටී.ටී.යේ නොයෙකුත් මිනීමැරුම් හා සමූලඝාතනයන්ට හවුල්වූ ඇතැම්හු දැන් යුරෝපා රටවල පාර්ලිමෙන්තු වල කොරිඩෝරය දිගේ ඇවිදිමින්, ඇමරිකා කොංග්‍රස් මණ්ඩලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ ආයතන වල සාමාජිකභාවය ලබාගෙන මානව හිමිකම් ක්‍රියාධරයින් සේ පෙනී සිටිති.වෙනසක් ඇතිකරනු ඇතැයි මහත් අපේක්ෂාවෙන් උතුරේ ජනතාව පත්කර ගත් දෙමළ ජාතික සන්ධානයද අතීතයට සමුදීමට කැමැත්තක් නොමැති බවක් පෙනෙන්‍නේ 70 දශකයේ සිරවී එක තැන කැරකෙන බවක් පෙනී යන පැරණි තැටියක් මෙන් නැවත නැවතත් පැරණි වැරදිම කරමින් සිටින නිසාවෙනි.
කලින් තිබුණු මුදල් හා බලය දැන් ඔවුන් සතු නොවීම ඔවුන්ට මහත් පීඩනයක්වී ඇතිවා විය යුතුය.ඉතිරි අප සියලු දෙමළ ජාතිකයින් නිහඩවම බලා සිටින්නේ අපගේ කටවල් වසා ගෙන සිටින්නැයි අපට උපදෙස් ලැබී ඇති බැවිනි.මගේ මාමා කෙනෙක් මා දකින දකින සෑම වාරයකම කියන්නේ මා මගේ කට වසාගෙන සිටිය යුතු බවයි.
ජාත්‍යන්තර සබඳතා
කාහටවත් ඩේවිඩ් ගොලයාත් පරදවන්නේ අවුරැදු 1000 කට සැරයක් යැයි මතක් කර දෙන්නට අමතකව ඇති බවක් අපගේ ජාත්‍යන්තර සබඳතා දෙස බැලීමේදී පෙනේ.පෘථිවිය මත පවතින බලගතුම රාජ්‍යයන් දෙකක් හා (ඇමෙරිකාව හා යුරෝපය) හා ආරෝවක් ඇති කර ගැනීමට අපි කටයුතු කර ඇත්තෙමු. නැඟී එන තවත් බලවත් රාජ්‍යයක (චීනය) දෙපා මුල අපි වැටී සිටින්නෙමු.එවන් තවත් නැගී එන රාජ්‍යයක් හා (ඉන්දියාව) එකට එක කිරීමේ කටයුත්තක අපි නිරතව සිටින්නෙමු.
රටක ආරක්ෂාව සදහා අවශ්‍ය වන විධායක සබඳතා යනු අණ දීමක් නොව යෝජනා,සාකච්ඡා,අදහස් හුවමාරැ කරගැනීම්,ලබා ගැනීම් හා පරිතයාග කිරීම් ආදී වන්නේ යැයි අප හදුනාගෙන සිටි ධනපාලලාගේ, පලිහක්කාරලාගේ, කාරියවසම්ලාගේ (මේ පුද්ගලයා සමග මම නොයෙකුත් වාද විවාද වලට පැටලීමට පුරැදුව සිටියෙමි) යුගය අවසන්වී අප රට අන්තර්ජාතික තලයේ වීරයෙකු ලෙස පෙනී සිටිය යුතු තත්ත්වයට පත් කර ඇති නව විදෙස් ප්‍රතිපත්තියක් දැන් භාවිතයට ගනිමින් පවතින බවක් පෙනේ.
අවසානයේ ලොව විසිතුරුම දහමේ, බුදුදහමේ ආගමික නායකයින්, කලහකාරී ලෙස අදහස් පලකරද්දී, පල්ලි හා මුස්ලිම් පල්ලි ගිනි බත් කරන්නැයි පුද්ගලයින් උසි ගන්වද්දී,ඇගලුම් ආයතනයක ඇදුම් හා පරිගණක ඒ මේ අත විසිරැවමින් කලහ කරද්දී ඒ සියල්ල දැක්වෙන වීඩියෝ දර්ශන නරඹද්දී, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරියේ ලෝගු ඉරාගනිමින් තමන්ගේම සාමාජිකයෙකු රූපවාහිනී කැමරා ඉදිරියේ අපහසුතාවයට පත්කරද්දී මේ සියල්ල දකින හා ඇසෙන මා හට ගෙවුණු වසර පහත් ඉදිරියට එළැඹෙන්නට තිබෙන වසර පහත් ගැන සිතන්නට යාමේදී කරන්නට හැක්කේ දෙඅත් අතරේ මගේ හිස සඟවාගෙන මෙය කුමන අභාග්‍යයයක්ද මෙය ප්‍රහසනයක්ද මෙය නොකළ යුතුව ඇති විහිලුවක්ද යැයි සිතමින් සුසුම් හෙළීම පමණි.
හොඳ දේවල් කිහිපයක්ද ඇත.දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ගමන් කරන්නට මම ප්‍රිය කරමි.මාර්ගය දෙපස පරිසරය නෙත් පිනවයි.කොළඹ සිට යාපනයට බස් රථයකින් දැන් පැය 4 ක් ගතවීමට මත්තතෙන් යා හැකිවීම සැබැවින්ම පුදුම සහගතය.දකුණු පළාත සංවර්ධනයේ අරැණලු දකිමින් සිටීම මා පිනවයි.කොළඹ හා බත්තරමුල්ලේ නගර අලංකරණය වෙනුවෙන් ගෙන ඇති පියවර මම අගය කරමි.(අනෙක් ප්‍රදේශ වල අලංකරණ කටයුතු සම්බන්ධයෙන් මගේ වැඩි මනාපයක් නැත)
ආර්ථිකය සංවර්ධනය වෙමින් තිබීම ගැන මම සතුටු වෙමි.කියන සංවර්ධන දත්ත සැබෑදැයි හෝ අතිශයෝක්තියෙන් පවසන්නේදෝහෝයි මට දැනුමක් නැත.නමුත් මගේ සිත දුකින් පෙළේ. කොහෝ හෝ කුමන හෝ දෙයක් වැරදී ඇත.අපට ඉතා වටිනා දෙයක් අහිමිව ගොස් තිබේ.ඇතැම් විට ඒ අපගේ ආත්මය වන්නට පිළිවන.
රාධිකා කුමාරස්වාමි
පරිවර්තනය කෝවිද ගුණසේකර
(ෆයිනෑන්ෂල් ටයිම්ස්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියවෙවත් නැති වෙන්නම භාෂාවකින් ජාතික ගීයක් ඉල්ලද්දී තේරෙනවා මොකද්ද මේ කොලේ වහල ගහන්නේ කියල. මේ වගේ ලියුන් වලට රහත් වෙන කට්ටියත් ඉන්නවනේ ඇත්තට.
මම මා දෙසත් ඔබ ඔබම දිහාත් ආපසු හැරී බලන්න මට මාව නැතිවීගෙන යනවා ඔබට ඔබව නැතිවීගෙන යනවා එය තමා ඇය ආත්මය වසයෙන් හදුන්ව ඇත්තේ (අ)
අගනා ලිපියක්. මෙහි අදහස් දම ඇති සමහර අයට තාමත් මෙය තේරුම් නොවීම සංවේගයට කරුණක් . (අ)
මම සිංහල.මේ ලිපියේ අරුත වැටහෙනවා.යුද්දයෙන් අපි දෙගොල්ලන්ම බැට කාපු අය.මේක අපේ රටයි ,අපේ ජාතියයි කියා ගෙන ඒ දෙකම විනාස කරන අය ගැන දැන් අපි හැමෝටම අත්තේ වෛරයක්.මුල මැරුණ ගහක් බවට අද රට පත් වෙලා.හිතේ තියෙන්න අවිනිශ්චිත බවක්.තිගැස්මක්.හරියට නොපෙනෙන යුද්දයක් මැද ඉන්නවා වගේ.අපිට අපේ ආත්මය අහිමි වී නැහැ,අහිමි කරල තියෙන්නේ,ඒක හොයා ගන්න වෙලා තියෙන්නේ අපිටමයි. අපිට කවදාවත් අනෙක් ජාතින් ගැන පැහැදීමක් ඇති වෙන්න වැඩපිළිවෙල සකස් කරන්න පාලකයන්ට බැරි වෙලා තියෙනවා.අනෙක් ජතින්ටත් එහෙමමයි.මේ වෙනස නැති කල යුතුයි. (අ)
ඔව් රධිකා ... ඇත්ත වශයෙන්ම.....එය ආත්මය තමා........
වටිනා ලිපියක්.කවුරු කෙසේ තර්ක කෙරුවත් මෙය තමයි නියම යථාර්තය.එය තේරුම් ගැනීමට අපේ පාලකයන්ට නුවන පෑදේවා , (අ)
සිහින වලට වඩා ඇත්ත ගොඩක් දුරයි, කටුකයි. හැබැයි දැන් අපි හීන දැකලා ඉවරයි (නි)
සමන්ගේ කතාව මමත් පිළිගන්නවා (නි)
මම ලංකාවට පැමිණියේ වසරකට පමණ පෙරයි. මට හැඟෙන පරිදි, අපේ ජීවිත වලින් අපේ සහයෝගී ජීවන රටාව ගිලිහී යමින් පවතී. ආත්මාර්ථකාමී වූ ගමනක අපි යෙදී සිටින්නෙමු.ඇත්තටම අප අපගේ ආත්මය සොයා නැවත යා යුතුයැයි කියන කතාවට මමද එකඟ වෙමි.මෙම ලිපිය දෙමළ භාෂාවෙන්ද පළකරන්නට හැකි නම් ඉතා අගනේය. (නි)
සංජීව සමඟ මමද එකඟ වෙමි (නි)
මම ඉතා ආශාවෙන් කියවූ ලිපියක් (නි)
අතිශය විවාදාත්මක ලිපියක් සේ හඟිමි. ඉංග්‍රීසි ලිපියේ සම්පුර්ණ යොමුව පළකරන්නේ නම් මැනවි. ඉංග්‍රීසි ලිපිය කියවා සංසන්දනය කිරීමෙන් පසු අදහසක් පළකිරීම වඩාත් පලදායක වනු ඇත. මෙහි බුදුදහම "ලොව විසිතුරුම දහම " ලෙස සඳහන් වේ. ඇත්තෙන්ම රාධිකා මෙවන් අදහසක් පළ කරතිබේද?(අ)
බොහෝ කරුණු කාරණා දැනගත හැකි ලිපියකි. (නි)
ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳව මට විවේචන කොතෙකුත් ඇතත් රටේ ආරක්ෂාව අභියෝගයට ලක්කරන්නට කිසිවෙකුට ඉඩදීමට නොහැක. (නි)
ඇත්ත ඇති සැටියෙන් කියා තිබෙන ලිපියකි. (නි)
මෙම ලිපියේ සැබෑ යටි පෙළ අරුත විමසා බැලීමට ඔබේ බුද්ධියට අරාධනා කරන්න. (අ)
අනිත් කාරනාව නම් බුදුහාමුදුරුවෝ "ආත්මය" පිළිබද සංකල්පය ප්‍රතික්ෂේප කල සේක. එම නිසා බෞද්ධයෝ වශයෙන් අපි "ආත්මය" සංකල්පය පිළිගන්නේ නැත. ඔබගේ ආගමට අනුව ඔබ "ආත්මය" පිළිගත් පමණින් එය අන් අයට ද සාධාරණීකරණය කිරීමට කටයුතු නොකළ යුතුය. (ස)
ඇත්ත තිත්තයි කියලා කතාවක් තියෙනවා.මේ ලිපිය කියවලා අවසන් වුනාම මට ඇත්තටම ඇතිවුනේ මහා කලකිරීමක්...මේ ලිපියේ අකුරක් අකුරක් පාසා හදවතට අනිමින් කියන්නේ එදා සිට අද වෙනතෙක් සිංහල දෙමල මුස්ලිම් ඇතුළු අපේ රටේ ජිවත්වන සියලුම අපේ සහෝදර ජන කොටස් අත්විඳින මහා ඛේදවාචකයයි ..... අපි නිදහස ගන්න කලින් එක අම්මගේ දරුවන් ලෙස හිටිය කාලයක්..නිදහස් අරගලයේදී ජාති ආගම් බේද නැතිව ආක්‍රමණිකයාට විරුද්ධව සටන්කළ හැටි ..මගේ සියා කියපුහැටි මට යන්තමට මතකයි..ඒ ඔක්කොම විනාශකළේ පුහු ජාතිවාදීන් ආගම් වාදීන් ..සහ අවස්ථාවාදී කාලකන්නි දේසපාලුවන් බව මම නොකීවාට ඔබගේ හිත දන්නවා....මගේ එකම එක ප්‍රාර්ථනයක් තියෙනවා ...මම මැරෙන්න එක මොහොතකට පෙර හෝ ආයෙත් වතාවක් නිදහස ලබන්න කලින් අපි ඔක්කොම අත්විඳපු ඒ සහෝදර බව නැවත විඳින්න ... (ස)
පාලකයෝ ලංකාවේ හිටියේ 56 පෙර ඒකනිසා ඔබේ පර්ත්න්ය යථාර්තය.එය තේරුම් ගැනීමට ලංකාවේ ජනතාවට නුවණ පෑදේවා කියල වෙනස් උනානම් හොදයි කියල;මට හිතෙන්නේ. රධිකා ඔබ සිතන විදියට ම තමා මටත් හිතෙන්නේ වෙනස ලංකාවේ සිටිය දී මම හිතුවේ ලංකාව සිංහල අපිට විතරයි කියල. නමුත් දැන් තේරෙනවා ලංකාව අපි හැමෝගෙම කියල. (ස)
මේ ලිපිය කියවනකොට අපිට අපි ගැනම ලජ්ජා හිතෙනේවා.මම හිතන්නෑ අපි යුද්දේ දිනුවට දෙමෙල ජනතාව දිනාගන්නට වැඩ කලා කියලා. රාධිකා මහත්මියනි යුද්දෙන් අපි දෙගොල්ලොම පරාද උනා.(ස)
මෙය ඉතා වැදගත් ලිපියකි. (නි)
ඇත්තෙන්ම බොහෝ වටිනා හරවත් ලිපියකි. මෙවැනි ලිපි තව තවත් පළකරන්න (නි)
රනා, මෙතන ගොඩක් අයට වැරදිලා, මේ පෙන්වන්නේ රධිකා ආත්මය නෙමේ , කෝපය, මේවගේ ලිපි අපි අනන්ත කියවනවා, අපිට අහිමි උනේ අපේ ආත්මය නෙමෙ, කොටි කපල කොටලා ඝාතන කරද්දී අනේ මේ කව්රුත් කොහෙහිටියද දන්නේ නැනේ ...රාධිකා, ඔයාගේ පෑන ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා ඉන්නකොට තීන්ත තියෙන්න නැතිව ඇති, ලංකාවේ හදවතට ඇවිත් කටුනායකට ගහද්දි, මහබැංකුවට ගහද්දි, පිටකොටුවේ බෝම්බ පුපුරවද්දී කෙබිතිගොල්ලාවේ අහිංසක මිනිස්සු ඝාතනය කරද්දී, අනේ රාධිකා කොහෙද හිටියේ, අපේ නීලන් තිරුචෙල්වම් ඝාතනය කරද්දී, අපේ කදිරගාමර් මහත්තයව ඝාතනය කරද්දී, අඩුගනනේ හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය කරද්දී, ඔයාට ඔය හීනෙ පෙනුනේ නැතිද, අල්ලජ්ජිත දේශපාලකයන්ගේ වැඩ නිසා අපේ දෙමල මිනිසුන් අනතුරට වැටෙද්දී, සිංහල මිනිසුන්ම තමයි ඔවුන්ව බේරාගත්තේ [කියවන්න කුමාර් සංගක්කාරගේ ලිපිය], ගොඩක් කියන්න තියනවා, එත් මේ වෙලාව නෙමේ , අමන දේශපාලකයන්ටත් මිනිසුන් පාඩමක් උගන්නාවි දවසක. එතකන් අපිත් ඉවසමු (ස)
අහිංසාගේ කතාව මමත් පිළිගන්නවා (නි)
යුද්ධයෙන් පසුවත් අපගේ මුදලේ වටිනාකම දිනෙන් දිනම අඩුවෙමින් පවතී. බදු බර වැඩිවෙමින් පවතී. මට දැනෙන්නේ එපමණකි (නි)
පරිපාලනය තුළට දේශපාලනය රිංගාගෙන ඇත. එයින් සාමකාමී ජීවන රටාව විනාශ වන්නේය. කාටත් තෝරා බේරාගැනීමේ අයිතිය ඇත. එය ස්වාධීන විය යුතුයි. (නි)
බල තණ්හාව හා සම්පත්, දේපල වලට ඇති නිමනොවන කෑදරකම විසින් සියලු මානුෂික ගුණාංග විනාශ කර දමා ඇත. (නි)
කාලෝචිත අදහසක් ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් තවමත් සමහරු විවිධාකාර කතා කියනවා. මේ කතා කරන්නේ යුද්ධය අවසන්වෙලා අවුරුදු පහකට පස්සේ කාලය ගැන. (නි)
හැමදාම දකින කියවන අපරාධ,මිනීමැරුම් වලට වැඩිය තරමක වෙනස් මුහුණුවරක් ගත් ලිපියක් (නි)
අදහස් පළකිරීමේදී ආත්මාර්ථකාමී, වර්ගවාදී, ආගම්වාදී නොවිය යුතුයි. අද ලෝකයේ ත්‍රස්තවාදී හෝ වෙනත් ප්‍රශ්න ඇති රටවල් ගැන බලද්දී එම රටවල වන විනාශය දකිද්දී අපේ රටේත් පසුගිය වසර තිහක අතීතය එවැනිම නේද කියන එක අමතක නොකළ යුතුය. සිවිල් යුද්ධයක් හෝ ත්‍රස්තවාදී මර්දනයක් යුද්ධයකින් අවසන් කිරීමේදී ප්‍රශ්නය නිරාකරණය වුවත් අවසානයේ ඇතිවන ප්‍රශ්න වලට මුහුණදීමත් ඒවා විසඳීමත් එයට නායකත්වය දුන් පුද්ගලයන්ට සිදුවන එක සාමාන්‍ය දෙයකි (නි)
කුමාර සහ තවත් අතලොස්සක් පමණයි ලිපියේ ගැඹුරු, සංකීර්ණ අරුත පැහැදිලිව තේරුම් අරගෙන තියෙන්නෙ. මෙම ලිපිය දෙවරක් කියවා පැහැදිලි නම් පමණක් අදහස් පළ කරන්න. රාධිකා මහත්මියගේ හෝ තුන්වන පාර්ශවයක පුද්ගලික මතයයි මේ. කෝවිද ගුණසේකර මහතාට ස්තූතියි. (ස)
"අන්න ගොනෙක් පැනල වළං කද බින්දා." මෙම ලිපිය දේශපාලන පක්ෂ ගැන සිතමින් බලන්න එපා. ස්වාධීනව හිතන්න. මේක තමයි අපේ සත්‍ය කතාව. (ස)
මම එක දෙයක් කියන්නම්, මේ ලිපිය තුල සැඟවුණු ක්‍රෝධයක් තියනවා. එක අපිට දීල තියෙන්නේ අයිසින් කරලා, මේක තමයි නියම මොළසුද්ධ කිරීම. කියවන අයට නොදැනීම මේ කියන්නේ සත්‍ය කියල අවබෝධ කරවනවා....අපේ රටේ ඇත්තටම අසාධාරණයක් උනේ සිංහල මිනිස්සුන්ට. සිංහලයට කතා කරන්නවත් නිදහසක් නෑ. (ස)
රටකට තිබිය යුත්තේ එක ජාතික ගීයයි. බිලියනයකට අධික ජනතාවක් සිටින සහ භාෂා සෑහෙන ගණනක් භාවිතා වන ඉන්දියාවේ සැමට එක්ව "ජන ගන මන" ගීතය ගායනා කළ හැකි නම් මිලියන 20ක් සිටින රටේ "ශ්‍රී ලංකා මාතා" ගීතය ගායනා කළ නොහැක්කේ මන්ද? ත්‍රස්තවාදීන්ට නම් ආත්මය අහිමි විය. එම ආත්මය යලි පණ ගන්වන්නට සුදානම් වන කොටස් ගැන අප විමසිලිමත් විය යුතුය. (ස)
කවුරු කෙසේ කිව්වත් අතිතය හරිද වැරදිද කියා ජනතාව නිවැරිදි පිළිතුරක් ළඟදීම ලබා දෙනු ඇත. (ස)
රාධිකා කුමාරස්වාමිට පමණක් සිතෙන දෙයක් නොවේ. මනුෂ්‍ය හිතවාදී මා ඇතුළු හැමටම සිතෙන යථාර්තය මෙයයි. සත්‍ය අහස වගේ. නමුත් අහසට යන්න තටු නැතිකළ බල ලෝභී දේශපාලකයින්ට සහ ත්‍රස්ත නොමිනිසුන්ට සාප කරමින් අහස දෙස බලා සිටිමු .(දිල්)
තිත්ත ඇත්ත ඉතා ලස්සනට විග්‍රහ කර ඇති ලිපියකි . (දිල්)
කුමාර, එච්චර දරුණු ත්‍රස්තවාදයක් බිහිවුනේ ඇයි ? මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ . මෙහෙ ලෝකේ ඉන්න හැම ජාතියම ජීවත් වෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව. එත් ලංකාවේ ඉන්න ජාතින් තුනට සමගි වෙන්න බැහැ. එකට හේතුව ජාතිවාදයද? (ස)
මා සැබැවින්ම පුදුමයට පත් වුණෙමි. මෙවන් ලිපියක් ලංකාදීපයේ පළවීම පිටුපස යමෙකුගේ සැබෑ කැපවීමක් තිබිය යුතුය. මෙම ලිපිය පරිවර්තනය කළ කෝවිද ගුණසේකර මහත්මයාණනි, ඔබටයි මේ ප්‍රණාමය.(දිල්)
සමහරුන්ට ටිකක් රිදිලා වගේ තියෙන්නේ මේ ලිපිය දෙමල ගැහැනියක් ලියූ නිසා වෙන්න ඇති. මේක තමයි වර්තමානයේ ඇත්ත. යුද ග්‍රහණය දැන් ඉවරයි. ඒ ගැන තවම පම්පෝරි ගහන්නේ ඊළඟ වාරෙ කතිරේ බලාගෙන. පරණ මල්ටි බැරල් ටික හරියට අපේ නිෂ්පාදන වගේ පෙළපාලියේ අරන් යනකොට මටනම් ලැජ්ජත් හිතුන. (අ)
ජාතින් රැසක් , ආගම් රැසක් සංස්කෘති ගනනාවක් ඇති ඕස්ට්‍රේලියාවේ සැවොම සමගියෙන් ජීවත් වෙනවා. අපේ මව්බිමේත් එවැනි සමගියක් , එකිනෙකා අතර සහයෝගයක් ඇතිනම් කෙතරම් හොඳද . (අ)
කුමාර, ඔබ කියපු දේ ඇත්ත. මගේ ඉහත අදහසට කලින් මම තව අදහාස් දැක්වීමක් දැම්ම එක මම හිතන විදියට තද වැඩි නිසාදෝ පලවී නැත. ඒ ගැන මට කනගාටුයි. (අ)
අපේ කරුමෙට අපේ සිංහල ජාතිය කවරු හරි මොනව හරි බර වචන (දුක හිතෙන) දාල ලිපියක් ප්‍රසිද්ධ කරහම එයා හරි කියල පිළිගන්න ජාතියක්, එකයි අපිට මෙහෙම උනේ.(අ)
ඇත්තෙන්ම බොහෝම වටිනා ලිපියක්
මම මේ ලිපිය ඉංග්‍රීසියෙන් ද කියව්වා . මෙම ලිපිය පරිවර්තනය කළ කෝවිද ගුණසේකර මහත්මයාණනි ඔබට ස්තුති. නිවැරදි හොඳ වැඩක් යථාර්තය මෙයයි.බල ලෝභී දේශපාලකයින් නිසාම අපි දෙපැත්තකට වී එකිනෙකට වයිර කරමු. (අ)
කලකින් ඇසූ හොඳ කතාවක්. වියයුතු දේ සහ කළයුතු දෙය මෙහි ඇතුළත් වී ඇත. (නි)
කාලයට උචිත යථාර්තවාදී ලිපියක්. රාධිකා මහත්මියට මගේ ස්තුතිය! කොයි කා හට තිත්ත උනත් ඇත්ත මේක තමයි. යුද්ධයෙන් පසු ඇති විය යුතු සමාජ සංහිදියාව වෙනුවට ඇති වුයේ කුමක්ද? යුධ සමයේ තිබු සමාජ ආකල්පමය විෂබීජ ඉවත් කරනවා වෙනුවට, සිදුවුයේ එදාවත් නොතිබූ අන්තවාදී විෂබිජයන් සමාජය තුල පැල පදියම් කිරීමට උත්සහ කිරීමයි. යුද්ධයෙන් පසු නැතිවුයේ රටේ පුරවැසියන්ගේ ආත්මය පමණක්ම නොවේ, රට වැසියන්ගේ අධ්‍යාත්මයත් නැතිවුවා. අප දකින සමාජ යථාර්තය එයයි. (අ)