(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහරගම අපේක්ෂා රෝහලේ සේවකයකු එම රෝහල ආසන්නයේදි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සෞඛ්‍ය කාර්යය සහයකයකු ලෙස සේවය කරන්නෙකි.

සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂයකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 500 ක් හා කේරළ ගංජා ග්‍රෑම් 10 ක් පොලිස් බාරයට ගෙන ඇත.

එම රෝහලේ සේවකයකු අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා පැකට් කර අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කරන බවට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනසාන්ත කහටදෙනිය මහතාට ලද තොරතුරකට අනුව සැකකරු  රැකියාවට යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී ඔහු නවතා සෝදිසි කිරීමේදී කුඩා පැකට් වශයෙන් අසුරා තිබූ අයිස් සහ ගංජා මත්ද්‍රව්‍ය හමුවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

වසර හතක පමණ කාලයක් එම රෝහලේ සේවය කර තිබෙන මෙම සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින රෝහල් සේවකයන් කීප දෙනකුට සහ පිටස්තර පුද්ගලයන් සඳහා අලෙවි කරන බවට අනාවරණය වී යැයි යැයි පොලිසිය කියයි.