IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


අපි එකට වසමු මියුලැසී ලෝකයට බයෙන් ගල් ගැසී

Saracolma-2016-10-31-1ඊයේ පෙරේදා ගමනකදී ඇතිවුණු කල්පනාවක් තමයි අද ලියන්න හදන්නේ. නුවර ඉඳලා කොළඹ එන බස් එකේදී තමයි මේ කල්පනාව ඔළුවට ආවේ. බස් එකේ දාපු ටී.වී. එකේ දාලා තිබුණේ මියුසිකල් ෂෝ එකක සී.ඩී. එකක්. ගායකයො ගායිකාවෝ හත් අට දෙනෙක් නැගලා බැහැලා ගියාට පස්සෙ ආපු චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියපු සිංදුවත් එක්ක තමයි සිතුවිල්ල එළියට ආවේ.

මඟ දිගට යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ගැන ගහපු කටවුට් එහෙමත් ඇස්වල වැදෙද්දී ඇහුණු මේ සිංදුව එක්ක තමයි මේ වගේ කල්පනාවක් ආවේ.

ඔක්කොටම කලින් මේ සිංදුව මොකක්ද කියන්නම්. මේක චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියපු ‘ඔබ හිමිවුණා නෙවෙයි’ කියන තරමක් ප්‍රසිද්ධ සිංදුව. චන්ද්‍රසේන මේක කියලා අවුරුදු දෙක තුනක් වෙනවා මං හිතන්නේ.

 

‘ඔබ හිමි වුනා නෙවෙයි ඔබ මට හිමි කළා

අපි ළං වුණා නෙවෙයි ඔබ මා ළං කළා

හිත් හැඳිනුවා නෙවෙයි දෑඟිලි එක්කළා

අපි සැනසුනා නෙවෙයි වෙන අය සැනසුවා

 

 

හිත නතර වුණ තැනින්

හිත ආපසු ගන්න බැරී

ඔබ නගන විටදි හසරැලි

හදවතින් නෙවෙයි සියුමැලී

 

අපි අසරණයි නමුදු

දැන් ආපසු යන්න බැරී

අපි එකට වසමු මියුලැසී

ලෝකයට බයෙන් ගල්ගැසී’

 

මේ සිංදුව පේළියෙන් පේළිය ඇහෙද්දී තමයි හිතුණෙ දෙයියනේ මේ චද්‍රසේන උන්නැහේ කියන්නේ දැන් තියෙන ජාතික ආණ්ඩුව ගැන නේද කියලා.

මේක ජනාධිපති මෛත්‍රී - අගමැති රනිල්ටද කියන්නේ, අගමැති රනිල් ජනාධිපති මෛත්‍රීටද කියන්නේ කියලා තමයි නිච්චියටම කියන්න වැටෙහෙන්නේ නැත්තේ. ඒත් මේ දෙන්නාගේ තුඩ තුඩ රැව් දෙන්නේ මේ මොහොතේ මේ සිංදුවම තමයි. ආයේ ඒකෙ දෙකක් නෑ.

20160830Sara-1කවදාවත්ම එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවයි කියලා හීනෙන්වත් හිතුවෙ නැති පක්ෂ දෙකක මේ දෙන්නා අද ජනාධිපතියි අගමැතියි වෙලා තියෙන්නෙ මේ දෙන්නාගෙම වුවමනාමටම නෙවෙයිනේ. පොදු අපේක්ෂකයෙක් හොය හොය කාලයක් තිස්සෙ හතර අතේ කරක් ගහපු අයට මෛත්‍රීපාල සිරිසේන සෙට්වුණෙ හරියට අර ‘නිධානය’ ෆිල්ම් එකේ විලී අබේනායක බිල්ලට දෙන්න ලප තුනක් තියෙන කෙනෙක් හොය හොය යනකොට අයිරින් හම්බවුණා වගේ. විලී අබේනායකත් කතන්දර කියලා කියලා කොහොම හරි තමන්ගේ වැඩේ කරවා ගන්න ඕන නිසා අයිරින්ව බැඳ ගත්තා. අපේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ වගේ අයත් පොදු අපේක්ෂකයා විදියට අන්තිමට මෛත්‍රීපාල සිරිසේන සෙට්කරගත්තෙ යහපාලනය කියන මහා නිධානය ගොඩදාන්න පුළුවන් කියන ලොකු හීනයත් එක්ක. ඒත් දැන් ටිකෙන් ටික ඒ යහපාලනය බොඳවෙලා යන්නේ ‘සඳ බොඳවී යන විටදී’ වගේ.

මේ සිංදුවෙ තියෙනවා වගේ මෛත්‍රීගෙයි රනිල්ගෙයි ‘හිත් හැඳිනුවා නෙවෙයි දෑඟිලි එක්කළා’. ඒත් මේ දෙන්නගෙම යටිහිත් දන්නවා සිංදුවෙ කියනවා වගේම ‘අපි සැනසුනා නෙවෙයි වෙන අය සැනසුවා’ කියලා.

මෛත්‍රීපාල සිරිසේන පසුගිය දවසක කරපු ආන්දෝලනාත්මක කතාවක් එක්ක යහපාලනය තවත් දෙදරන්න පටන්ගත්තා. ඒ කතාව ඇතුළෙ රාජපක්ෂ ප්‍රේමයක් ගෑවිලා තිබුණා කියලත් කියවුණා. අවුරුදු ගණනාවක් රාජපක්ෂලා එක්ක එකපතේ කාගෙන ඉඳපු මෛත්‍රීපාල සිරිසේනට එතැනින් හිත අහකට ගන්න බැරි වීම මහා පුදුමයක් වෙන්න බෑ. ඒක තමයි මේ සිංදුවෙත් තියෙන්නේ ‘හිත නතර වුණු තැනින් හිත ආපසු ගන්න බැරී’ කියලා. මෛත්‍රීපාලයි රනිල් වික්‍රමසිංහයි දෙන්නම එකට එකතු වෙලා, හිනාවෙලා, කතාවෙලා වැඩ කරනවා වගේ පෙනුණට, එක වේදිකාවේ හිටියට කාටත් වඩා ඒ දෙන්නට දෙන්නම තමයි දන්නේ ‘ඔබ නගන විටදී හසරැලී හදවතින් නෙවෙයි සියුමැලී’ කියලා.

අද මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ දෙපළටම ආපසු හැරීමක් නෑ.මේ අවුරුදු පහ මේ විදියට අදින්න වෙනවා. ඒත් රනිල්ටත් වඩා නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් වෙනවා කියලා දසඅතේ දිවුරපු මෛත්‍රී තමයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කර තියාගෙන ඊළඟට තනිකර ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන විදිය ගැන කයිවාරු ගහන්නේ.

චන්ද්‍රසේනගේ සිංදුවට අනුව මෛත්‍රීටයි රනිල්ටයි මේ තියෙන පීඩනය හමුවේ සිද්ධ වෙලා තියෙන්නේ ‘අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරී’ තත්ත්වයක්ම තමයි. මේ නිසා මේ දෙන්නට දැන් ඉන්න වෙන්නේ මේ සිංදුව අන්තිම පද පේළි දෙකේ කියනවා වගේ ‘අපි එකට වසමු මියුලැසී.. ලෝකයට බයෙන් ගල් ගැසී’ කියාගෙන තමයි.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

අපි එකට වසමු මියුලැසී ලෝකයට බයෙන් ගල් ගැසී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 290 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site