
(බී. ජී. චතුරංග)
මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී ඊයේ (25දා) රාත්‍රී නාඳුනන තුවක්කු කරුවෙකු සිදු කල වෙඩි තැබීමකින් යතුරු පැදියක ගමන් කල පුද්ගලයකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, වෙඩික්කරු විසින් තුවාලකරු පැමිණි යතුරු පැදිය රැගෙන පලා ගොස් ඇති බවද තිරප්පනේ පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයට ලක්ව මෙලෙස තුවාල ලබා ඇත්තේ, ගල්කුලම සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචි, දිසානායකගේ සසිඳු ජීවන් දිසානායක නොහොත් "අක්කර පනහ මර්වින් සුද්දා" නැමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.
"අක්කර පනහ මර්වින් සුද්දා" නැමැති මෙම පුද්ගලයා තම හිතවතෙකුගේ යතුරු පැදියක් ඉල්ලා ගෙන ගල්කුලම නගරය දෙසට ඊයේ (25දා) රාත්‍රී 8.45ට ගමන් කරමින් සිටියදී, ගල්වඩුවාගම පිහිටි, 'ගල්කුලම' යනුවෙන් සඳහන් නාම පුවරුව අසලදී රාත්‍රී 9.10ත්, 9.15ත් අතර කාලය තුළදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.
වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ තුවාලකරු යතුරුපැදිය එම ස්ථානයේ දමා, වෙඩික්කරුවන්ගෙන් බේරීම සඳහා, ලේ ගලන තුවාල සහිතව මීටර් 500ක පමණ දුරක්, ගල් කුලම නගර මධ්‍යයේ ඇති ඉන්ධන පිරවුම්හල අසල ඇති ත්‍රී රෝද රථ ගාල දක්වා දිව ගොස් බිම ඇද වැටී ඇති බව ඇති බව පොලිසිය සදහන් කලේය.
ඉන් අනතුරුව එම ස්ථානයේ සිටි පිරිස් '1990 සුවසැරිය' ගිලන් රථයක් මගින්, තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇති බවද පොලිසිය සදහන් කලේය.
වෙඩි තැබීම සිදු කල නාඳුනන තුවක්කුකරු විසින් තුවාලකරු පැමිණි යතුරු පැදිය රැගෙන පලා ගොස් තිබේ.
රෝහල්ගත කළ තුවාලකරු ශෛල්‍ය කර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව, සිදු කල විමසීමකදී රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
අනුරාධපුර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත, තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චණ්ඩිකම් කරපු උන්දැලා සහ පරණ කෝන්තර තියෙන කට්ටිය රාත්‍රි කාලවලදී ගමන් බිමන් යාමෙන් වැළකී ඉන්න එක ඇඟට ගුණයි