IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අද විද්‍යුත් නාළිකාවලින් ඇසෙන්නේ අඳෝනා

ගීත කලාවේ කුමන්ත්‍රණයක්

  • සම්ප‍්‍රදායික රාමුවල හිටියොත් ප‍්‍රවීණයෝ ඉවරයි
  • ගීතයේ අයිතිය තිදෙනාටම සමව තිබිය යුතුයි
ඔහු සුවිශේෂී හඬක් උරුමකරගත් ගායන ශිල්පියෙකි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ සුවිශේෂී සංගීතයෙන් ශික්ෂණය ලැබූ ඔහු, කේමදාස  මාස්ටර්ගේ නිර්මාණවලට නැතුවම බැරි ශිල්පියෙක් විය. එයින් සුභාවිත ගී කෙත පෝෂණය කිරීමට ඔහු දුන් ගී ප‍්‍රමාණය රසිකයන් වැළඳගත්තේ මිරිඟු කතරට දිය පොදක් ලෙසිනි. ලාංකීය සුභාවිත ගීත කෙත පුරන් වී තිබී යළි කෙමෙන් පණ ගසමින් ඉදිරියට එන අවධියක ඔහු, තම පස්වැනි ගී එකතුව එළිදක්වන්නේ වසර 11කට පසුවීම විශේෂත්වයකි. නව පරපුරේ ප‍්‍රතිභාපූර්ණ තනු නිර්මාණකරුවකු වන දර්ශන රුවන් දිසානයක සමග එකතුවී ඔ හු තම අලූත් ගී එකතුව ”ගඟ ගලා යාදෙන්” නමින් අද (09) පස්වරු 5.00ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී එළිදක්වනු ලබයි. එය නිමිති කරගෙන ”ගඟ ගලා යාදෙන්” ගී කෙතට එකතු කරන විශාරද අමරසිරි පීරිස් නම්වූ ප‍්‍රතිභාපූර්ණ ගායන ශිල්පියා සමග අපි කතාබහ කළෙමු. මේ එහි සටහනයි.
  • ඔබ දිගුකලකට පසුව සංයුක්ත තැටියක් එළිදක්වන්නේ. ඇයි මෙතරම් කාලයක් ගතවුණේ?
ඒකට හේතුව තමයි හොඳ දෙය ක් කිරීමට කාලයක් ගතවීම. අනෙක අද කාලයේ හොඳ නිර්මාණ එකතුවක් ඉදිරිපත් කිරීමට නිෂ්පාදකවරු හරි අඩුයි. මේ මගේ 5 වැනි සංයුක්ත තැටිය. මීට ප‍්‍රථම ” කන්‍යාවී, පහන් තරුව, සක්මන් සඳ” හා ”ස්නේහයේ නගරයේ” සංයුක්ත තැටි එළිදැක්වූවා. ”ස්නේහයේ නගරයේ” කළේ 2000 වසරේදී ටොරානා ආයතනයෙන්. ඊට අවුරුදු 11කට පස්සේ ”ගඟ ගලා යාදෙන්” කරන්නෙත් ටොරානා ආයතනයෙන්මයි. මම දෙයක් කරන්නේ හොඳට හිතලා බලලයි. මේ හින්දා තමයි මට කාලය ගතවෙන්නේ. ඔබේ ”ගඟ ගලා යාදෙන්” සංයුක්ත තැටියේ විශේෂත්වය නම් සියලූම ගී තනු තරුණ සංගීතවේදියකු වන දර්ශන රුවන්  දිසානායකගේ වීමයි. මොකක්ද ඒ විශේෂත්වය? ඒකටත් හේතුවක් තිබුණා. දර්ශන රුවන් පොළොන්නරුවේ කෙනෙක්. ඒ කාලයේ මගේ හිතවතෙක් වන අබ්දුල් කේ. සාදිකීන් නමැති මුස්ලිම් ජාතික බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වන ගුරුවරයෙක් ළමයෙක් එක්කගෙන මා ළඟට ආවා, ඔහු සංගීතයට හරි කැමති හින්දා ගීතයක් මා ලවා ගායනා කරගන්න. ඔහු තමයි දර්ශන රුවන්. එතකොට ඔහු පාසලේ 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. ඔහුගේ වයසට වඩා මුහුකුරා ගිය දක්ෂකමක් මා දුටුවා. ඔහුගේ ගී තනු ප‍්‍රස්ථාර ඉතා ඉහළ මට්ටමක තිබුණේ. මම ඔහුට කිව්වේ, මා උදව් කරන්නම් කියලයි. පළමු ගීතය ඓතිහාසික පේ‍්‍රම වෘතාන්තයක් තේමාකරගත් ”සුගන්ධිකා” ගීතය. ඉන්පස්සේ වරින් වර ඔහුගේ ගීත මා ගායනා කළා. ඒ විදිහට ගීත 15ක් විතර මා ගයා තිබුණා. මේ ගීත කිසිවකට මා මුදල් ගත්තේ නෑ. මම ඔහුට උදව්වක් වශයෙන් තමයි ඒ දේ කළේ. ඔහුගේ නිර්මාණශීලීත්වය දිනෙන් දින දියුණුවන බවක් මා දුටුවා. ඒ අනුව තමයි මගේ අලූත් ගී එකතුවට ඔහුගේම තනු රැුගත් ගීත 18ක් එකතු කළේ. මුලින් ඔහු සමග කළ ගීත 15ම මෙයට ඇතුළත්. ”ගඟ ගලා යාදෙන්” ගීත එකතුවේ මගේ ගායන ශෛලියේ පවා වෙනස් ආකාතිවලට ගිහින් කර තිබෙන්නේ. බටහිර ශෛලිය, ඔපෙරා ශෛලිය වැනි විවිධ අංශ කරා මගේ හඬ මෙහිදී උපයෝගී කරගත්තා. අපේ සුභාවිත ගීතය තුළ පළමු වතාවට ඔපෙරා ශෛලිය ඇතුළත් කරලා මෙහි ගීත නිර්මාණය කර තිබෙනවා. මෙය අලූත් පරපුරට නව වෙනසක් දකින්න පුළුවන් වේවි කියා මා හිතනවා. ඔබ ඔහොම පැවසුවත් අද සුභාවිත ගීත කලාවට තැනක් නෑ නේද? විද්‍යුත් නාලිකාවලින් ඒ තැන බලෙන් යටකරගෙන නේද? ඇත්තෙන්ම සුභාවිත ගීත කලාවට අද පේනතෙක් මානයක තැනක් නෑ. නාලිකාවලින් ඇහෙන්නේ නෑ. හැමතැනම ඇසෙන්නේ අඳෝනාවල්. 70 දශකයේ ගීතවල තිබූ සශ්‍රීකත්වය හින්දා එවකට සමාජය යහපත් තැනක තිබුණා. 77 විවෘත ආර්ථිකයත් සමග ඒ සියල්ල උඩු යටිකුරු වුණා. සදාචාරය, සංස්කෘතියට විශාල පහරක් වැදුණා. හැම නාලිකාවක්ම පහත් රුචිය මාර්කට් කරන්න හැදුවා. එදා 70 දශකයේ ගුවන් විදුලිය මාර්කට් කළේ සුභාවිත ගීත. නමුත් අද සියල්ල වෙළෙඳාමට යටවෙලා. අද ප‍්‍රවීණ ශිල්පීන් ගැන තැකීමක් නෑ. එදා ඒ ශිල්පීන් මුළු ජීවිතයම කැපකළේ හොඳ ගීත කලාවක් වෙනුවෙන්. ඔවුන් මුදල් පස්සේ දිව්වේ නෑ. අල්පේච්ඡු ජීවිත ගතකළේ. අද තරුණ ළමයින්ට හරසුන් බාල ගණයේ නිර්මාණ සඳහා විශාල ගණන් මුදල් ගෙවනවා. අපි කරන දේවලට තැනක් නෑ. වටිනාකමක් නෑ. විද්‍යුත් නාලිකා අර හරසුන් අඳෝනා තමයි මාර්කට් කර කර වැඩි ගණන් ඔවුන්ට මුදල් දෙන්නේ. මේක විශාල කුමන්ත‍්‍රණයක් විදිහටයි මා දකින්නේ. ඔබ ”කන්‍යාවී” ඒකපුද්ගල ගී ප‍්‍රසංගය රටපුරා ගෙනියන බවක් පෙනෙනවා. මෙයින් ඔබ අපේ රසිකයන්ගේ රසවින්දනයේ වර්ධනයක් දකිනවාද? මගේ ”කන්‍යාවී” ගී ප‍්‍රසංගය තවම 15 වතාවත් විතරයි පවත්වා තිබෙන්නේ. අපි කොච්චර කිව්වත්, මගේ ගීතවලට තරුණ තරුණියෝ කැමති බව ප‍්‍රසංගයේදි වැටහුණා. මොකද ඔවුන් තමයි වැඩි හරියක් ප‍්‍රසංගය රසවිඳින්න එන්නේ. අද ඔවුන් අන්තර්ජාලය හා ඒකාත්මික වෙලා ඉන්නේ. ඉතින් මේ තරුණ පරපුරට අපට කියන්න බැහැ, උඹලා පරණ දේවල්ම කරන්න  ඕනේ කියලා. ඔවුන් නිතරම අලූත් අලූත් දේ සොයනවා. ඒ හින්දා මම නිතරම වෙනස් වෙන්න බැලූවා. ඒ වෙනසට ඔවුන් කැමති වුණා. මම කියන්නේ ඔවුන්ට හානියක් නොවන විදිහට. ඔවුන්ගේ මනසට හානියක් නොවන විදිහට හොඳ පණිවුඩ ගීත තුළින් අපි අලූත් ආරකින් කියන්න  ඕනේ. ඒක වේග රිද්ම වුණාට ප‍්‍රශ්නයක් නෑ. තරුණ පරපුරට බැනලා වැඩක් නෑ. මොකද තරුණයන් අද විද්‍යුත් නාලිකාවල යන දේ ඉල්ලන්නේ නෑ. ඔවුන්ගේ කනට බලෙන් කාවද්දනවා. බලෙන් කා වැද්දුවාම  ඕනෑම ජරාවක්, කුණු රසයක් පුරුදු වෙනවා. හුරු වෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් වෙනස්වන ලෝකයේ අවම විදිහට වෙනස් වී, ඔවුන්ට හොඳ දේ අපි ලබාදිය යුතුයි. ඒ හින්දා නේද අපේ ප‍්‍රවීණයන් අපේ තරුණ පරපුර ප‍්‍රතික්ෂේප කර නව පරපුර වැළඳගත්තේ? ඇත්තෙන්ම ඔව්. අපි සාම්ප‍්‍රදායික රාමුවල හිටියෙත් විසිවෙනවා. හුඟාක් ප‍්‍රවීණයන්ට වුණෙත් ඒකයි. මම සම්භාව්‍ය මට්ටමේ ගීතත් අලූත් පරපුරට දෙන්නේ, ඔවුන්ගේ රුචිකත්වය හොඳින් තේරුම් අරගෙනයි. මම ”ඇපල් මලක්” ගීතය හරහා තරුණ පරපුර ආකර්ෂණය කරගත්තා. එය ඒ අවුරුද්දේ ජනප‍්‍රිය ගීතය මෙන්ම ජනප‍්‍රිය ගායකයා ලෙසටත් සම්මාන ලබාගත්තා. එය බාල, මහලූ, තරුණ හැම කෙනෙක්ම රසවින්දා. එදා ”ස්නේහයේ නගරයේ” සංයුක්ත තැටිය එළිදක්වන දවසේ මහාචාර්ය කාලේ ෆොන්සේකා මහතා ”ඇපල් මලක්” ගීතය ගයන්න කියා, එයින් දේශනය කළා. එදා ඔහු කිව්වේ, මට කවදා හරි මේ තරුණ පරපුර අනෙක් පැත්තට ගන්න පුළුවන් වෙයි කියලයි. අද මා අවබෝධ කරගෙන තිබෙනවා, මේ තරුණ පරපුරට හොඳ දේ මට ලබාදෙන්න පුළුවන් කියා. මා ගයන, කියන දේ ඔවුන් වටහාගෙන තිබෙන්නේ. මේ ළමයි හොඳ උසස් රසවින්දනයක් තිබෙන පරපුරක් බවට පත් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. මගේ ”ගඟ ගලායාදෙන්” ගී එකතුව විශාල වෙනසක් ඇති කරයි කියා මට හිතෙනවා. තරුණයෝ පවා වෙනස් පැත්තට මේ තුළින් යොමුවෙන බව මට විශ්වාසයි. ඔබ ප‍්‍රවීණ සංගීතවේදි ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස මහතා උරෙන් උර කටයුතු කළ සංගීතවේදියෙක්. ඔහු සංගීත ක්ෂේත‍්‍රය කළ මෙහෙවර විශිෂ්ටයි. ඔබ ඒ ගැන දක්වන්නේ කවර අදහසක්ද? ඇත්තෙන්ම ඔහු මහා තනි අලියෙක් වගේ කෙනෙක්. ඔහු තනියෙන් කළ දේ මේ රටේ සංගීත ක්ෂේත‍්‍රයට ලොකු ආලෝකයක් වුණා. ගීතයට වඩා සංගීතය විඳින්න මිනිසුන් පුරුදු කළේ ඔහුයි. සංගීතය, මිනිසුන්ගේ හඬ ඔහු මැනවින් භාවිත කළ අපූර්ව සංගීතඥයෙක්. ඔහුගෙන් බිහිවූ කිහිපදෙනා අදටත් යම් යම් දේ කරගෙන යනවා. අලූත් පරපුරට යම් යම් දේ ලබාදෙනවා. ඔහු නැතිවීම සංගීත ක්ෂේත‍්‍රයේ විශාල හිස්තැනක් ඇතිකළා. ඒ හිස්තැන එහෙමමයි. අද ගීතයේ අයිතිය ගැන නැවත වතාවක් කතාබහට ලක්වෙලා. ඔබ මේ ගැන මොකද හිතෙන්නේ? ඒ කාලයේ ගීතය බෙදාගන්න බැරි දෙයක් තිබුණේ නෑ. එදා සුන්දරව තිදෙනාම එකතු වී තමයි ගීත බිහිකළේ. මහගම සේකර, මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්, පණ්ඩිත් අමරදේව වැනි අය එකතුවෙලා හොඳ ගීත බිහි කළා. ඔවුන් කවදාවත් අයිතියක් ගැන කතා කළේ නෑ. අද මේ අයිතිය ගැන කතාව එන්නේ ඊර්ෂ්‍යාවත් සමගයි. අපි මේ දෙස උපේක්ෂාවෙන් බැලිය යුතුයි. මේ අයිතිය ගැන ප‍්‍රශ්නය ඇති කළේ ගීත රචකයෝ. මා නම් කියන්නේ ගීතයේ අයිතිය තිදෙනාටම තිබිය යුතුයි කියලා. සම අයිතියක් තිදෙනාටම තිබිය යුතුයි. නැත්නම් මේ ගාලගෝට්ටිය හැමදාම තිබෙනවා. මේ තිදෙනාම නැත්නම් ගීතයක් බිහිවෙයිද? ඇයි මේ කුළල් කා ගැනීම්? ඊර්ෂ්‍යාව මුල්වෙලා. ඒකයි මේකට හේතුව.



අදහස් (0)

අද විද්‍යුත් නාළිකාවලින් ඇසෙන්නේ අඳෝනා

haresh Friday, 16 September 2011 07:13 PM

පිපාසයෙන් ඉන්න අපට අමරසිරි පීරිස් මහත්මය දිය පොදක් දීලා. තරුණ පරපුර මොන දේ කලත් තවමත් සැලකිය යුතු තරුණ කොටසක් හොඳ රසවින්දන මට්ටමක ඉන්නවා. ඒක තව පරම්පරාවක් දෙකක් ඇතුලත වෙනස් වෙන්න පුළුවන්.

:       0       0

නුවන් අසිරි Thursday, 11 September 2014 06:22 AM

ඉතා හොද ලිපියක්. අපි කොහොමද ගීත රස විදින්න ඕන කියල දැනගන්න පුළුවන්. කාටත් පොදු රස වින්දනය ලබා ගැනීමට මේ වගේ අය ඉන්න ඕනා. (නදී)

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Sunday, 11 September 2011 01:10 PM

ළඳුනේ ගීතය මුළු මහත් කාන්තාවන් වෙනුවෙන්ම බිහිවුණු සෙත් කවියක් වගෙයි ජීවිතයට අරුත් බර වචන එක් වූ ඔබේ සෑම ගියක්ම අපේ ජීවිතවලට අලූත් අත්දැකීමක් වෙනවා අනාගත පරපුරේ මිතුරනි අසන්න විඳින්න මේ ගීත

:       0       0

තාරකා සොනාලි Monday, 12 September 2011 08:30 AM

ඉතා උසස් ලිපියක්.

:       0       0

සඳුන් Monday, 12 September 2011 10:10 AM

අපේ සුභාවිත ගීතය තුළ පළමු වතාවට ඔපෙරා ශෛලිය ඇතුළත් කර ගීතයක් නිර්මාණය කලේ කසුන් කල්හාර (රෝමාන්තික ඔපෙරාව)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site