(ඩයනා උදයංගනී)

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර 540 ක් පමණ ඊසාන දෙසින් පැවති පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වෙමින් තමිල්නාඩු සුදුචෙරි වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් යාත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක් කරයි.

උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව එම දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.