IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අජීවි දත් හැඩකරන ස්නායු පිරවුම්

කුරුණෑගල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ ප‍්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය - හර්ෂ මාරසිංහ

දතක බාහිරින් පිහිටි ශක්තිමත් ආවරණය එනැමලයයි. ඊට ඇතුළතින් ඇත්තේ ශක්තියෙන් අඩු දන්තිනයයි. ඊටත් ඇතුලෙන් දත අභ්‍යන්තරයේ ඇති සිදුර කල්ක කුහරය නමින් හදුන්වන අතර, එහි සිට දතක මුල් වල අභ්‍යන්තරයේ විහිදෙන නාළ ස්නායු කුහර ලෙස හැදින්වේ. දතක සජීවි බව රඳා පවතිනුයේ මෙම කුහර තුළ ඇති ස්නායු සහ රුධිර වාහිනී වලට ලැබෙන පෝෂණය මතය. දතක් දිරායාම හෝ වෙනත් බාහිර හේතුවක් නිසා හෝ මෙම කල්ක කුහරය සහ ස්නායු කුහරය තුළ ඇති ස්නායු සහ රුධිර වාහිනී අජීවි බවට පත්විය හැක.

ස්නායු පිරවීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

අජීවි බවට පත් වූ දතක කල්ක කුහරයේ සහ ස්නායු කුහර වල ඇති මිය ගිය ස්නායු සහ රුධිර වාහිනී සියුම් උපකරණ මගින් බැක්ටීරියා සම`ග ඉවත් කර, නැවත එම සිදුරු පුරවා දැමීම ස්නායු පිරවීම (Root Canal Therapy  හෙවත්a Nerve Filling) ලෙස හඳුන්වනු ලබයි.

ස්නායුව ඉවත් කළ පසු දතකින් ප‍්‍රයෝජනයක් ගත හැකිද?

දත තුළ තිබෙන ස්නායුව මගින් සිදු කරන්නේ උණුසුමට සහ සිසිලට සංවේදනය සැපයිමයි. ස්නායුව මිය ගිය විට, දතට අහිමි වන්නේ එම සංවේදනය කිරීමේ හැකියාවයි. එහෙත්, දත පරිදන්ත පටලය මගින් අස්ථි වලට හොදින් සවි වී ඇති නිසා, පෙර පරිදිම දතෙන් ලබා ගන්නා ලද ප‍්‍රයෝජනවලට බාධාවක් නැත.

දතක ස්නායුව ඉවත් කිරීමට සිදු වන්නේ ඇයි ?

විවිධ හේතු නිසා, විශේෂයෙන් දතක් දිරායාම නිසා හෝ අනතුරක් නිසා කල්ක කුහරය තුළට බැක්ටීරියා ඇතුළු වී එය ආසාදනයට ලක්විය හැක. එසේ ඇතුළු වන බැක්ටීරියා කල්ක කුහරය තුළද වර්ධනය වන්නට පටන් ගනී. මෙහිදි දතෙන් වේදනාවක් හට ගන්නා අතර, මෙම ආසාදනය දතක මුල්වල කෙළවර (Apex of the Root) දක්වා පැතිර ගිය විට, විදුරුමස රතුවිම, ඉදිමීම හෝ සැරව ගෙඩියක් හට ගැනීම පවා සිදුවිය හැක. එවැනි අවස්ථාවක දත බේරා ගැනීමට නම් කළ යුත්තේ දත තුළ ඇති ස්නායු කොටස් ඉවත් කර, ආසාදනය පාලනය කිරීමයි.

මෙසේ ස්නායුව ඉවත් කර ස්නායු පිරවීමට සිදුවන අවස්ථා ගණනාවක් පෙන්වා දිය හැක.

1. දතක දිරායාම කල්ක කුහරය දක්වා ව්‍යාප්ත වූ විට,

2. නැවත නැවතත් සිදු කරනු ලබන දත් පිරවීමේ ක‍්‍රියාවලිය නිසා හෝ විශාල පිරවුමක් නිසා හෝ කල්ක කුහරය හානියට පත් වු විට,

3. අනතුරකදී (වාහන අනතුරු, පහර දීමක් නිසා, අත්ට‍්‍රැක්ටර් පණ ගන්වන හැඩල වැදී) දත කල්ක කුහරය හරහා කැඩී යන විට,

4. දත වයස්ගතවීම නිසා ක‍්‍රමයෙන් මිය යාම හෝ අනතුරක් සිදු වී කලක් ගතවූ පසු ස්නායුව ටිකෙන් ටික මිය යාම නිසා,

5. දත් මිටිකෑම නිසා හෝ බුරුසුවෙන් තදින් දත් මැදීම නිසා හෝ කල්ක කුහරය පෑදෙන සේ දත ගෙවී ගිය විට,

6. මුඛ පළදනා වැරදි ලෙස පැළදීම නිසා දත මිය ගිය විට,

දතක ස්නායු පිරවීම අවශ්‍ය බවට හැඟවෙන ලක්ෂණ මොනවාද?

දතක් පහතින් දැක්වෙන ලක්ෂණ පෙන්වයි නම්, එයින් හැඟි යන්නේ එය ස්නායු පිරවීමක් මගින් සංරක්ෂණය කළ යුතු බවකි.

1. හපන විට හෝ තද කරන විට ඇති වන තද වේදනාව

2. දිගු කලක් තිස්සේ උණුසුමට හා සීතලට දත හිරි වැටීම

3. දත අවපැහැවීම හෝ කළු පැහැවීම

4. දතේ මුලට ආසන්නව විදුරු මසේ ඉදිමීම හෝ විදුරුමස තද කරන විට වේදනාවක් හට ගැනීම

5. විදුරු මසේ දත මුලට ආසන්නව වරින් වර බිබිලි හට ගැනිම

ස්නායු පිරවීමකින් වැළකීමට දත් රැක ගත යුත්තේ කෙසේද?

ස්නායු පිරවීමක් සිදු කරනු ලබන්නේ මැරුණු දතක මිස, සජීවි දතක නොවේ. ඒ නිසා, බොහෝ දෙනෙක් සිතන අයුරින් ස්නායු පිරවීම යනු “ස්නායු මරා” සිදු කරනු ලබන ප‍්‍රතිකාරයක් නොවේ. දතක් මිය යාමට නොදී සජීවි බව රැක ගැනීම වඩාත් ප‍්‍රයෝජනවත්ය. සජීවි දතක සවිමත් බව, ස්නායුව ඉවත් කළ දතකට වඩා වැඩිය.

ඒ නිසා, දතක් දිරා යාමට ඉඩ නොදීමත්, දිරා ගිය විට වහා පුරවා ගැනිමටත් ක‍්‍රියා කළ යුතුය. කැඩුණු පිරවුම් යථාවත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එසේම, ක‍්‍රීඩා (උදා : බොක්සිං / රගර් ) කටයුතු වලදීත්, අත් ට‍්‍රැක්ටර් පණ ගන්වන විටදීත්, මුව ආවරණ (Mouth Guard) පැළදීම අත්‍යවශ්‍ය බව තේරුම්  ගත යුතුය. දත් මැදීමේදී දත් ගෙවීම වළක්වා ගැනීමටත්, පිරවු දත් නැවත දිරායාමට ඉඩ නොදිමටත් වග බලා ගත යුතුය.

ස්නායු පිරවීම නොකර වෙනත් ක‍්‍රියා මාර්ග ගත හැකිද?

දතක ස්නායු පිරවිම සිදු කරනු ලබන්නේ හණුවට සවිවී ඇති දතක් එලෙසම තබා ගැනීමටත්, ස්වාභාවික පෙනුම රැක ගැනීමටත් අවශ්‍ය නිසාය. යමෙක් ස්නායු පිරවීමකට අකමැති වන්නේ නම්, ඔහුට හෝ ඇයට ඇති එකම විකල්ප ක‍්‍රියා මාර්ගය දත ගලවා දැමීමයි. දිරාගිය දතක් සංරක්ෂණය නොකර තබා ගැනීමෙන් අයහපතක් සිදු වන්නේ රෝගියාටමය.

ගැලවූ දත වෙනුවට, කෘතිම දත් ඇන්දක් පැළදිය හැක. එසේ නැතිනම් මාසයක් පමණ ගිය පසු බි‍්‍රජ් (Bridge) ක‍්‍රමයට දතක් සිටුවා ගැනීමටත් මාස හයක් පමණ ගිය පසු ඉම්ප්ලාන්ට් (Implant) ක‍්‍රමයට දතක් සිටුවා ගැනීමත් කර ගත හැක. කෙසේ වූවද, එවැනි විකල්ප ක‍්‍රියාමාර්ග, ස්නායු පිරවීමක් සිදු කිරීමට ගතවන කාලයට වඩා වැඩි කාලයක් ගන්නා බව මතක තබා ගත යුතුවේ.

ස්නායු පිරවිම සඳහා පෙර සුදානම් විය යුත්තේ කෙසේද?

දත තදින් බැක්ටීරියා ආසාදනයට ලක් වී ඇතිනම්, හෝ සැරව ගෙඩියක් හටගෙන ඇතිනම්, එය සුව කර ගැනීම සඳහා ප‍්‍රතිජීවක ඖෂධ හා වේදනානාශක කලින් ලබා ගැනීමට සිදු වේ. එසේම, දතක කල්ක කුහරයේ සහ ස්නායු කුහරයේ පැතිරීමද, දත මුල ආසාදන තත්ත්වය සහ ස්නායු කුහර ප‍්‍රමාණය ගැන අදහසක් ලබා ගැනීම සඳහා කිරණ ඡායාරූපයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ඔබ ළඟ ඇති වෙනත් රෝග වාර්තා සටහන් සායනයට රැගෙන යාම සඳහා සුදානම් කර ගැනීමත් අවශ්‍යතාවකි.

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.



අදහස් (4)

අජීවි දත් හැඩකරන ස්නායු පිරවුම්

කුමාර Wednesday, 28 October 2015 06:45 AM

ඉතාමත් හොඳ ලිපියක් (නි)

:       0       11

විකුම් Saturday, 28 November 2015 05:56 PM

හොඳ ලිපියක් (නි)

:       0       6

දිනූෂා Saturday, 28 November 2015 05:57 PM

ගොඩක් හොඳ දෙයක් (නි)

:       0       6

Asokamalakumarihamy Saturday, 02 March 2019 07:01 AM

ඉතා හොඳ ලිපියක් එහෙත් මම ප්‍රමාදයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 445 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site