(අංජුල මහික වීරරත්න)

ඇන්ටිගුවා සහ බාබුඩාහි පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල  නිරත වූවාය.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය  රුවන්ඩා ජනරජයේ ජනාධිපති පෝල් කගාමේ මහතා හමුවූවාය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී  දෙපාර්ශවයේ අවධානය යොමු වූ අතර,  දෙරටේ ආර්ථික සහයෝගීතාව, වෙළෙඳාම සහ ආයෝජන යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම, දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා නව සහයෝගීතා අවස්ථා හඳුනාගැනීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණි.

අනතුරුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ජැමෙයිකාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය ඇන්ඩෲ හොල්නස් මහතා හමුවූවාය. ශ්‍රී ලංකාව සහ ජැමෙයිකාව අතර මානව සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ සහයෝගීතාව පුළුල් කරගැනීමේ අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා, 2027 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත 'එක්ස්පෝ ශ්‍රී ලංකා' (Expo Sri Lanka) ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස ද අග්‍රාමාත්‍යවරිය  මෙහිදී ආරාධනා කළාය. එමෙන්ම, 2028 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුවට ද සහභාගී වන ලෙස ජැමෙයිකාවට ආරාධනා කළාය.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය  උගන්ඩාවේ අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය නොර්බට් මාඕ මහතා ද හමුවූ අතර දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන් තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය, වෙළෙඳාම සහ ආයෝජන මෙන්ම කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීමටත්, දෙරටටම ප්‍රතිලාභ සැලසෙන වැඩසටහන් හා ව්‍යාපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමටත් පවතින අවස්ථා පිළිබඳව දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.

අග්‍රාමාත්‍යවරිය  මාලදිවයින් ජනරජයේ උප ජනාධිපති  උස්. හුසේන් මොහොමඩ් ලතීෆ් මහතා ද හමුවිය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ආර්ථික, අධ්‍යාපනික, කෘෂිකාර්මික සහ සමාජීය ක්ෂේත්‍රයන්හි දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ සැලසෙන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමටත් මෙමගින් අවස්ථාව ලැබුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.