(නිමල කොඩිතුවක්කු)

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් රෝගී සත්කාර සේවා අද දිනයේත් බිද වැටී තිබිණ.

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය තම සංගමය සමග එකඟ වූ කොන්දේසි කඩකරමින් අදාළ පත්වීම් ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ(9) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වූහ.

කොළඹ, ගාල්ල සහ මහනුවර ජාතික රෝහල් ඇතුළු රට පුරා සියලුම මහ රෝහල් පර්යන්ත රෝහල් වෛද්‍ය ආයතනවල රෝගී සත්කාර සේවා ඊයේ බිඳ වැටී තිබූ අතර දහස් ගණන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්වුහ.

දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල සිට ප්‍රතිකාර සහ සායනික කටයුතු සඳහා රජයේ රෝහල්වලට පැමිණි රෝගීන්ට ඊයේ හිස් අතින් නිවෙස්වලට යෑමට සිදුවූ අතර ඇතැම් රෝගීන්ට පැය ගණන් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවූ බවද බවද වා ර් තා විය. මේ අතර රජයේ රෝහල්හි බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ටද ඊයේ ප්‍රතිකාර නොලැබුණු අතර ඇතැම් නේවාසික රෝගීන්ද ඊයේ දිනයේදී වෛද්‍ය පරීක්ෂාවට ලක් නොවූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.