(අංජුල මහික වීරරත්න)

13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම තම ස්ථාවරය බව සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පැවසීය.

පළාත් සභා නවයෙන් හතක්ම තිබෙන්නේ සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශ  බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන්නේ නම් මේ වන විටත් අත්දැක ඇති අඩුපාඩු සකස් කළ යුතු බව සඳහන් කළේය.

ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර- නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ  පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඇරැඹිණි.