(ඩයනා උදයංගනී)
           
ගොඩනගන නව සන්ධානයේ සම සභාපතිධූරය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය බවට එතුමා හෝ ශ්‍රී ලංකා නිදහස් ඉල්ලීමක් කර නොමැති බවත් එය ලබාදෙන බවට පොරොන්දු වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඇතැමුන් එම පොරොන්දු ගැන නොදැන කරන ප‍්‍රකාශ ගැන කණගාටු වන බව ද දයාසිරි ජයසේකර මහතා කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ ගිවිසුම් අත්සන් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දුන් පොරොන්දු සම්බන්ධයෙන් ගැටලූ පවතීනම් ඒවා සාකච්ඡා කර විසඳා ගැනීමට සූදානම් බව කී මහලේකම්වරයා ඇතැමුන් එවැනි දේ මාධ්‍ය හමුවලදී හා මහමගදී ප‍්‍රකාශ කිරීම ගැන කණගාටු වන බව ද සඳහන් කළේය.

ගිවිසුම් අත්සන් කර කාර්යය කරවා ගන්නා තුරු ආදරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිළිගත් අය දැන් විවිධ දේ කියන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා පාවිච්චි කර ඉවත දැමීම හොඳ කියා ජනතාව තීරණයක් ගනු ඇතැයි ද කීවේය.

මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (11) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ගිවිසුම් අත්සන් කිරීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සාකච්ඡාවලට එක්වූ බැසිල් රාජපක්‍ෂ, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල් පීරිස් මහත්වරුන් සමඟ ඇතිවූ එකඟතා අනුව නව සන්ධානයක් පිහිටුවීම ආදී කරුණු ඇතුළත් ගිවිසුම් සකස් කෙරුණු බවද ජයසේකර මහතා පැවසීය.