(විනීතා එම් ගමගේ)
නව ඇමැති මණ්ඩලය පත් කිරීමේ දී ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් මුහුණ දී සිටින දුෂ්කරතාව ගැඹුරින් කල්පනා කර කිසිම ඇමැති ධුරයක් බාර නොගැනීමට තීරණය කළ බව දන්වා පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.
රාජපක්ෂ මහතාට සහය දුන් පාර්ලිමේන්තු කණ්ඩායමේ සිටින දින සීයේ අන්තර්කාලීන ආණ්ඩුවේ ඇමැති ධූර අපේක්ෂා කරන හිටපු කැබිනට් ඇමැතිවරු ගණන 38 ක් වූ බවත් කැබිනට් ඇමැති ධූර අපේක්ෂාවෙන් දිස්ත‍්‍රික් නායකයින් ගණනාවක් ද සිටි බවත් ගම්මන්පිල මහතා තම ලිපිය මගින් පෙන්වා දෙයි.
මෙවැනි තත්ත්වයක් යටතේ 10 දෙනෙකුට සීමා වූ ඇමැති මණ්ඩලයක් යෝජනා අන්තර්කාලින ආණ්ඩුව සඳහා යෝජනා වූ අතර, පසුව 15 දෙනෙක් දක්වා ඉහළ නැංවූ නමුත් එය සැකසීම අතිශයින්ම දුෂ්කර බැව් තමන් දන්නේ යැයි ද මන්ත‍්‍රීවරයා යැවූ ලිපියේ සඳහන් වේ.
මෙවැනි තත්ත්වයක් යටතේ ඇමැති මණ්ඩලය සැකසීමේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා මුහුණ දී සිටින දුෂ්කරතාව යම් තරමකට හෝ අවම කර දීම සඳහා මෙම පියවර ගත් බව ද එම ලිපියේ සඳහන්වේ.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වන යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා නොසිටියහොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාලිය හැක්කේ 2020 මාර්තු 1 වැනිදා බවත් ඒ අනුව අද පත්වූ ආණ්ඩුව පවතින්නේ දින සියයක් බවත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.

COMMENTS
අනේ කරුණාකරලා පක්ෂයෙනුත් ඉල්ලා අස් වෙන්නකෝ... ලොකු උදව්වක්...
හොඳ අගය කළයුතු ක්‍රියාවක්...
කව්ද මේ අයට ඇමතිකම් දෙන්නේ..? ඇති ඡන්දයකුත් නැහැ..
දුකට කියවෙන කතානේ. චමල්ටත් ඇමතිකමක් දුන්න එකේ ඔහොම ගැටලුවක් තියෙන්න බෑනේ..
මුලින්ම තමන්ට තියෙන නඩු වලින් නිදහස් වෙලා ඉන්න. ලොක්කා කොහොමත් නඩුවලින් නිදහස් වුණා... ජනාධිපති වූ නිසා
තනතුරක් හම්බවෙන්නේ නැති විත්තිය කලින්ම දැනගෙන "අනේ මේ මිදි මට එපා... එව්වා තිත්තයි" කියලා ලියුමක් දීලා..
මේ දින 100ටද? මෙතරම් ලොකු වැඩක් වගේ පෙන්වන්නේ...? නිමල් සිරිපාල ඇර අනිත් සේරම ගෙදර අරින්න ඕනෑ. රජයේ මුදල් වැඩිපුර අතගාන ඇමති ධුර, මහින්දට විමල් නැතිවම බැරිද?
බාරකාර ආණ්ඩුවක්නේ... ඒක හින්දා නිකම් ඉන්නවා. අපි නොදන්නවද ගම්මන්පිලගේ තරම... හරිම සුද්දවන්තයා .
ඔන්න මං ලොක්කො දෙන්නට ලොකු උදව්වක් කලේ... නැත්නම් ඇමති මණ්ඩලේ හදාගන්න බැරුව මාර එරිල්ලක් එරෙනවනේ... ඒ හින්දා මාර්තුවෙන් පස්සේ මට හොඳට සලකනවා නේද? ඔන්න අමතක කරන්න එපා, හොඳේ...
ඊළඟ වතාවේ ලොකු එකක් බලාගෙන වෙන්නැති... නැත්තං අතාරියි. අනේ යන්න මහත්තයෝ නිකං බයිලා නොගහ...
නරියත් කිව්වලු මිදි තිත්තයි කියලා. මේ මහත්තයා බොරු කියන්න දන්නෙම නැහැ.
මෙයා මුලින්ම කැපුණා.. ඒකයි දැන් නිවේදන..
නායකයාගේ හැටියටලු ගෝලයෝ යන්නේ. බලන්න කොතරම් මහත්මා ගති ඇති කෙනෙක්ද? අපි පැතූ වෙනස මෙය නොවේද? ගෝඨා සර්ට දෙවියන්ගේම පිහිටයි...!
ඒකට මොකටද මහා ප්‍රසිද්ධියක්...? දෙගොල්ලන් කතා කරගත්තා නම් ඉවරයිනේ..
එක ටෙලිෆෝන් කෝල් එකෙන් ඕක කරන්න තිබුණනේ, නැත්නම් හම්බවෙච්ච වෙලාවේ කනට කරලා කියන්න තිබුණනේ. නිකම් රටට පේන්න ලියුම් ලියලා ඉදිරිපත් කරනවා, ඔහොම ලියුමක් ඇරියද දන්නෙත් නැහැ...
අර ඕස්ට්‍රේලියාවේ ධනපතියාට මොකද වුණේ?
ඔය හිනාවත් එක්ක ගත්තත් මොනවා කරන්නද?
කවදාහරි අැමැතිකමක් කරලා තියෙනවද?
අලුත් ඇමති කමක් හදමු 'ඇල්වතුර නිමලා බොන ඇමති'
අර කවුද කිව්වාලු මිදි තිත්තයි කියලා...
අනේ පව්... දැන් යන්න අනික් පැත්තට... ඔයාලට කොහේ ගියත් වෙන්නේ ඔයටිකම තමයි. තව අල්ලන්න පන්දම්...
අනේ පව්.., එජාප වහල්ලු ටිකක් තමන්ගේ දුක තුනීකර ගැනීමට මෙතන වෛරය පිටකරනවා.
නරියා මිදී කන්න ගිහින්, එය නෙලාගන්න බැරි වූ විට මිදී තිත්තයි කීවලු
ඔබතුමාගේ උතුම් ආදර්ශයට හිස් මුදුනින් ගරු කරමි. ඔවැනි දෙයක් මීට පෙර රෙජී රණතුංග ප්‍රසන්න රණතුංගගේ පියා කලා. ඇමති තනතුරට වඩා රට ගැන හිතන එකට මගේ ප්‍රණාමය!
මේ කතාකරන්නේ හදවතට එකඟව නොවෙයි. නොලැබෙන දෙයට වෙන කතාවක් මේ කියන්නේ.
කට වහගෙන ගෙදර යන්න කිව්වත් යන්න වෙනවා. මොකද යන්න වෙන පක්ෂයක් නැහැ. ලැබෙන ඡන්දයක් වත් නෑ