(සුජිත් හේවාජුලිගේ)

බොරැල්ලේ දේවස්ථානයකින් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම  විමර්ශන පැවැත්වෙන හෙයින්  ඒ විමර්ශන ආරම්භ කර පැය විසිහතරක් ගතවීමටත් පෙර  චෝදනා නැගීම සාධාරණ නැතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ එම සිද්ධියේ විමර්ශන සම්බන්ධයෙන්  මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

විමර්ශන සම්බන්ධයෙන් හොඳ දැනුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බවත් කාදිනල්තුමා සිතන ප්‍රමාණයටත් වඩා එහා ගිහින් එම නිලධාරීන් විධිමත් ආකාරයට විමර්ශන පවත්වා  සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

එම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගන්නා බවට රටේ ජනතාවට සහතිකයක් ලබා දෙන බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා යම් විමර්ශනයක් අවසන් කිරීමට  නිශ්චිත කාලයක් අවශ්‍යවන බවද  ප්‍රකාශ කළේය.

පැය 24 කින්  අත්අඩංගුවට ගැනීම්  කළ හැකි නම් එය ප්‍රාතිහාර්යක් විය යුතු බවද  ඔහු පැවසුවේය.