
(රෝෂන් තුෂාර)
මීගමුව ධීවර වෙළඳ මධ්‍යස්ථානයේ දේපල (”ලෙල්ලම”) පරිපාලනය සහ කළමණාකරණයට භාරකරුවෙකු පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය ලබා දුන් අතුරු නියෝගය ස්ථීර කිරීමට මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය අද (19)තීන්දු කළේය.
මීගමුව සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරුවරුන් වන රාමනාදන් කන්නන් මහතා සහ යුවෝන් ප්‍රනාන්දු මහත්මිය විසින් මෙම තීන්දුව නිකුත් කෙරිණි.
කොළඹ අගරදගුරු තුමෝ පැමිණිල්ලක් ගොනු කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මීගමුව දිසා අධිකරණය 2024 පෙබරවාරි 02 දින මෙම අතුරු නියෝගය නිකුත් කොට තිබිණි.
අතුරු නියෝගය බල රහිතකරන ලෙසස ඉල්ලා මීගමුව පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතියේ සභාපති ඇතුළු වග උත්තරකරුවන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම සලකා බැලීමෙන් පසුව මෙම තීන්දුව නිකුත් කළේය.
කොළඹ අගරදගුරු තුමෝ විසින් මීගමුව, පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතියේ සභාපති, එන්. අරුණ රොෂාන්ත ප්‍රනාන්දු, ලේකම්, ජේ එඩිසන් ප්‍රනාන්දු සහ භාණ්ඩාගාරික, ඒ. ජේ නිශාන්ත ප්‍රනාන්දු යන අයට එරෙහිව පැවරු නඩුව සලකා බැලීමෙන් පසුව මීගමුව දිසා අධිකරණය නිකුත් කළ අතුරු නියෝගය මෙසේ ස්ථිර කර ඇත.
කොළඹ අගරදගුරු තුමන් හට අයත් “ලෙල්ලම” හෙවත් ධීවර වෙළඳ මධ්‍යස්ථානය, කොන්දේසි කිහිපයක් ඉටුකිරීමේ එකඟතාවයට යටත්ව, 1963 වසරේදී එවකට සිටි අගරදගුරු හිමිපාණන් විසින් තෑගි ඔප්පුවක් මඟින් මීගමුව, පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතිය වෙත පවරා දී ඇත. විත්තිකරුවන් විසින් එම තෑගි ඔප්පුවේ කොන්දේසි උල්ලංගනය කරමින්, කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ පූර්ව අවසරයකින් තොරව එම දේපලේ කොටස් සහ කඩකාමර වෙනත් පිරිස් වෙත බදු දී ඇති බවත්, එම දේපලේ ආදායමෙන් කොටසක් පිටිපන මීසමේ ජීවත්වන ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වැයකිරීම සඳහා පිටිපන දේවස්ථානය වෙත භාරදිය යුතු බවට වූ කොන්දේසිය උල්ලංගනය කරමින් විත්තිකරුවන් දිගින් දිගටම එම ආදායම් තනිව භුක්ති විඳින ලද බවටත් සඳහන් කරමින් කොළඹ අගරදගුරු හිමිපාණන් විසින් මෙම නඩුව දිසා අධිකරණයේ ගොනු කර තිබුණි.
ඒ අනුව, තෑගි ඔප්පුවේ සඳහන් කොන්දේසි විත්තිකරුවන් විසින් දිගින් දිගටම උල්ලංගනය කිරීම හේතුවෙන්, එවකට සිටි කොළඹ අගරදගුරු හිමිපාණන් විසින් එම තෑගි ඔප්පුව අවලංගු කිරීමට කටයුතු කළ නමුත් විත්තිකරුවන් සහ ඔවුන්ගේ සාමාජිකයන් අදාල දේපලේ නීති විරෝධි ලෙස දිගින් දිගටම රැඳී සිටින බවටත්, විත්තිකරුවන් විසින් අත්තනෝමතික ලෙස එම ධීවර සමිතියේ නාමය පවා වෙනස් කර ඇති බවටත් එම පැමිණිල්ලේ සඳහන් විය.
ඒ අනුව, පැමිණිලිකාර කොළඹ අගරදගුරු තුමන් දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ලෙල්ලම ධීවර වෙළඳ මධ්‍යස්ථානය පිහිටි දේපල කොළඹ අගරදගුරු හිමිපාණන් වෙත අයත් බව ප්‍රකාශ කරමින් නියෝගයක් ලබා දෙන ලෙසත්ය. විත්තිකරුවන් සහ ඔවුන්ගේ සාමාජිකයන් එම දේපලෙන් ඉවත් කර එම දේපලේ භුක්තිය තමන් වෙත ලබා දෙන ලෙසත් ඉල්ලා තිබිණි.
එසේම එම නඩුව අසා නිමවන තෙක් අදාල දේපලේ කළමණාකරණය සඳහා සුදුසු භාරකරුවෙකු පත් කර, අදාල දේපල සහ එයට අදාල ගිණුම් සහ මුදල් ඔහුට භාර දෙන ලෙසට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසටද පැමිණිලිකාර කොළඹ අගරදගුරු තුමන් විසින් සිය පැමිණිල්ල මඟින් ඉල්ලා සිටින ලදී.
එම අතුරු නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් දිසා විනිසුරුවරුන් කිහිප දෙනෙක් ඉදිරියේ දීර්ඝ සාක්ෂි විමසීමක් පවත්වන ලද අතර එහිදී පැමිණිලිකරු වෙනුවෙන් ගරු සිස්වාන් ජේ කෲස් පියතුමා, එම්. වින්සන්ට් ජර්මන්, ඩබ්. ඒ ස්ටීවන් සහ ඩබ්. ජේ මාර්ටින් ප්‍රනාන්දු යන අය සාක්ෂි ලබා දී ඇත.
විත්තිකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ ෂර්ලි අමරසේකර මහතාගේ උපදෙස් මත නීතීඥ නලීන් සමරකෝන් සමඟ නීතීඥ චතුර ගල්හේන මහතා පෙනී සිටියහ.
පැමිණිලිකාර - වගඋත්තරකාර කොළඹ අගරදගුරු තුමන් වෙනුවෙන් නීතීඥ ධම්මික සිල්වා මහතාගේ උපදෙස් මත නීතීඥ ඉන්දික බණ්ඩාර අබේකෝන්, ජ්‍යෙෂ්ඨ නීතීඥ වරුණ සේනාධීර යන මහත්වරුන් සමඟින් ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
”ලෙල්ලමට“ භාරකරුවෙකු පත්කරන්නැයි නියෝග