(විමුක්ති එස් රුද්‍රිගු)

හොර රහසේ ශ්‍රී ලංකාවට  රැගෙන ඒමට සූදානම් කර තිබූ බව කියන අයිස් හෙවත් මෙතැම්ෆෙටමින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාගපට්ටිනම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව එරට ආරක්ෂක අංශ පවසයි.

මෙම මත් ද්‍රව්‍ය තොගය සමග පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට පත් දෙදෙනාගෙන් එක් අයෙකු සුප්‍රසිද්ධ කොලිවුඩ් නළුවෙකු වන ජෝසප් විජෙයිගේ ටී.වී.කේ පක්ෂයේ නාගපට්ටිනම් දිස්ත්‍රික් විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ 42 හැවිරිදි බූපාලන් වන අතර අනෙකා ඔහුගේ සගයෙකි.

අදාළ මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීමටත්, තවත් පිරිසකගේ සහාය ඇතිව බෙදාහැරීමටත් සැලසුම් කර තිබූ බවට ඉන්දීය ආරක්ෂක අංශ සැක පළකර ඇත. බූපාලන් අත් අඩංගුවට ගැනීමත් සමග ඔහු සහ විජෙයි එකට සිට ගත් ඡායාරූපයක් විශාල වශයෙන් සංසරණය වීමට ආරම්භ වී තිබේ.

බූපාලන් වෘත්තියෙන් නීතිඥවරයෙකුද වේ. අත් අඩංගුවට පත් දෙවැනි පුද්ගලයා රතාපරාමනල්ලූර් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ජේ. සුගන් හෙවත් සුගනාදන් ලෙස හඳුනාගෙන තිබේ. මීට අමතරව සුගන්ගේ සහෝදරයා වන 29 හැවිරිදි ජේ. පාර්තිබන් සහ එම ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි ඩී. සතීෂ් යන දෙදෙනා ද ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන ඇත.

නාගපට්ටිනම් ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාවට මෙතැම්ෆෙටමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට සූදානම් වන බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ඩී.ආර්.අයි නිලධාරීන් 16 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය 16 වැනිදා පෙරවරු 6ට පමණ ප්‍රතාපරාමනල්ලූර් ප්‍රදේශයේ පිහිටි සුගන්ගේ නිවස වටලා තිබේ.

එහිදී සුගන්, ඔහුගේ සහෝදරයා සහ ඔවුන්ගේ සගයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරු බවට සැක කෙරෙන පුද්ගලයා බූපාලන් බවට නිලධාරීන් හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. අනතුරුව නිලධාරීන් අටදෙනකුගෙන් සමන්විත තවත් කණ්ඩායමක් බූපාලන්ගේ නිවස ද පරීක්ෂාවට ලක්කර තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සුගන් වේලන්කන්නි ප්‍රදේශයේ නවාතැන් පහසුකම් සපයන ස්ථානයක් බදු පදනම මත පවත්වාගෙන ගොස් ඇති බවයි. බූපාලන්ගේ බිරිඳ ශ්‍රී ලාංකික කාන්තාවක බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, එම ශ්‍රී ලංකා සම්බන්ධතාව මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදාගෙන ඇති බවට නිලධාරීහු සැක පළ කරති.

බූපාලන්, සුගන්, පාර්තිබන් සහ සතීෂ් සමඟ එක්ව මාස කිහිපයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවට ද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.