(රොමේෂ් මධුෂංක)

යාපනය බන්ධනාගාරය තුලදී සැකකරුවකු  මියයාමත් සමගින් ගම්වාසීන්  යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසියට එරෙහිව විරෝධය පෑම හේතුවෙන් අද (20) දින පොලිස් ස්ථානය අවට දැඩි ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇත.

වඩුක්කොඩ්ඩෙයි පොලීසිය මගින් මීට දින 4 කට පෙර කිසියම් සොරකමක් සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන රිමාණ්ඩ් බාරයේ තබා තිබූ අතර සැකකරුවන්ගේ ඥාතීන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සමබන්ධයෙන් යාපනය මානව හිමිකම් කාර්යාලයට පැමිණිළි කිරීමෙන් පසුව වඩුක්කොඩ්ඩෙයි පොලීසිය  ඔවුන් මල්ලාකම් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

එහිදී ඔවුන් යාපනය බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් අධිකරණයෙන් ලැබුනු නියෝගයකට අනුව යාපනය බන්ධනාගාරයට ඇතුල් කිරීමෙන් පසුව  එක් සැකකරුවකු අසනීප තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

කෙසේ වෙතත් මිය ගිය සැකකරුගේ ඥාතීන්  වඩුක්කොඩ්ඩෙයි පොලීසියට චෝදනා කරමින් පවසා ඇත්තේ පොලීසිය විසින් සිදුකරන ලද පහරදීමෙන් මෙලෙස මිය ගොස් ඇති බවටය.