(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සාමාන්‍ය විදුලි සංදේශ ජාල මගින් අන්තර්ජාල සබඳතා ගැනීමට අපහසු පාසල් 334ක් හඳුනාගෙන ඇති හෙයින් එම පාසල් සඳහා වයිෆයි (Wi-Fi) පහසුකම් ලබා දීම සඳහා පෞද්ගලික ආයතනයකට පවරා ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තොරතුරැ හෙළිවිය.

එසේම භූගෝලීය දුෂ්කරතා හේතුවෙන් කිසිදු සාමාන්‍ය ක්‍රමයකින් අන්තර්ජාල පහසුකම් සැපයිය නොහැකි දුෂ්කර පාසල් 10ක් සඳහා චන්ද්‍රිකා සමාගමකින් අන්තර්ජාල පහසුකම් ලබා දීමට අපේක්ෂා ‍කරන බව නිලධාරිහු සඳහන් කළහ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රැසකට අදාළ විසඳුම් කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නාය.

ඇය මෙලෙස උපදෙස් දුන්නේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මන්ත්‍රීවරුන් කාරක සභාවේ අවධානයට යොමු කළ ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසීමෙන් අනතුරැවය.

පාසල්වල පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා වෙන් කළ මුදල්, මූල්‍ය වර්ෂය අවසන්වීමට පෙර පූර්ණ ලෙස ප්‍රයෝජනයට නොගෙන ආපසු යාම වැළැක්වීම සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රගතිය අධීක්ෂණය කිරීමටද අගමැතිවරිය විසින් මෙහිදී උපදෙස් දෙන ලදී.

තෝරාගත් ප්‍රාථමික පාසල් 169ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය මෙහිදී විමසා බැලිණ. ප්‍රමාද වී ඇති ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීම කඩිනම් කරන ලෙස කාරක සභාව විසින් පළාත් බලධාරීන්ට දැනුම් දෙන ලදී. කුඩා දරුවන් පරිසරය හා සෘජුව බද්ධව ඉගෙනුම ලැබිය යුතු බැවින්, ප්‍රාථමික අංශවල එක් ශ්‍රේණියකට එක් සුහුරු පන්ති කාමරයක් (Smart classroom) පමණක් සීමා කරන ලෙසත්, සියලුම පන්ති කාමර ස්මාර්ට් පන්ති කාමර බවට පත් නොකරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය උපදෙස් දුන්නාය.

තවද අලුතින් සැලසුම් කෙරෙන ප්‍රාථමික පාසල්වල දරුවන්ට මානසික සුවතාවයෙන් හා නිදහසේ රැඳී සිටිය හැකි විවේකාගාර හා කියවීම් කාමර ඇතුළත් කිරීම අනිවාර්ය විය යුතු බවද අවධාරණය කෙරිණ.