
(බණ්ඩාර ජයරත්න)
හෘදබාධයකින් මියගියේයැයි කියන පිය රැකවරණය අහිමි නව හැවිරිදි පුතකුගේ මෘතදේහය එළු ගාලක තහඩුවලින් හා සාරිවලින් ආවරණය කර තැන්පත් කර තැබූ පුවතක් අරණායක සාමසර එළපිටිය ප්‍රදේශයෙන් අද වාර්තාවිය.
මෙලෙස එළු ගාලක තැන්පත් කර අත්තේ කාවින්ද දිනේෂ් නැමති නව හැවිරිදි දරුවගේ සිරුරය.
ඉකුත් හතරවැනිදා මිය ගියේයැයි කියන පුතුගේ මළසිරුර රෝහලෙන් නිදහස් කරගැනීමට බැරිවුයේ පුතුට උප්පැන්නය ලබාදී නොතිබුණු නිසා බවත් දින 17 පරක්කු වූ බවත් මව පැවැසුවාය.
මියගිය පුතුට අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටියත් මව එම අවස්ථාවේ දිප්පිටිය නගරයට ගොස් සිටියේ පුතුගේ මිනිය මිහිදන් කිරීම සඳහා වෙලාවක් බලවා ගැනීම අරමුණින් ජ්‍යෙතීර්වේදියකු හමුවීම සඳහාය.
පියාගේ රැකවරණය අහිමි දියණියන් දෙදෙනාට හා මියගිය එකම පුතුට ද උප්පැන්නය ලබා දීමට නොහැකි වූ බව ද මව කීවාය.
මියගිය පුතු වසර ගණනාවක සිට හෘදයාබාධයකින් පිඩා විඳි බවත් එක පාරටම පුතුගේ රෝගී තත්වය පසුගිය 4 වැනිදා උත්සන්නවීම නිසා එළඟිපිටිය ජනපදයේ සිට මාවනැල්ල මූලික රෝහලව වෙත ඇතුළත් කර කෙටි වෙලාවකින් රෝගී තත්වය තවත් උත්සන්න වී පේරාදෙණිය රෝහල වෙත මාරු කර යවා සිටියදී එදින (04) රාත්‍රි 11.00 ට පමණ දරුවා මරණයට පත්වූ බව ද මව පැවැසුවාය.
පුතුගේ මව වන මාබෝපිටියලාගේ ජිවිකා ජයමිනි (32) මහත්මිය අප සමග මෙසේ කීවාය.
පුතාගේ මිනිය ගෙට ගත්තේ නැත්තේ, පුතා නැතිවෙලා මිනිය රෝහලේ තියෙද්දී දවස් හතක් ගත වෙන දින හාමුදුරුවෝ වැඩමවා බණක් කියල දානේ දුන්නා. ඒ නිසා නැවත ගේ ඇතුළට මිනිය ගන්න හොඳ නැහැ කියල මතයක් තිබුණු නිසා තාවකාලික මඩුවක මිනිය තියන්න තීරණය කළා.
මට තව අවුරුදු දහතුනක දියණියක් ඉන්නවා. එයාටත් පිළිකාවක් තියෙනවා. දැන් ඔපරේෂන් කරල එක්කගෙන ඇවිත් ගෙදර ඉන්නවා
අපට රජයෙන් කියල කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ළමයින්ගේ තාත්තට අස්වැසුම හම්බවුණා. ඒත් එයා අපි අතහැරල ගිහින් අපි දැන් පදිංචි වෙලා ඉන්නේ එළඟිපිටිය ජනපදයේ අම්මලාගේ මුල් ගෙදර. ඒකත් දිරාපත්වූ නිවෙසක්. අපි අසරණ ජිවිතයක් ගතකරන්නේ යැයි කීවාය.

COMMENTS
හා.. කමක් නෑ.. අපි තව පා දෝවන හදලා මහින්ද මහත්තයාට කියලා විවෘත කරවමු...
පුතුනි, ඔබට මෙවන් අකල් මරණයක් මින් මතු නොම වේවා..! නිවන්සුව පතමු.
හත් දවසේ දානේ දීමෙන් පසු මව විසින් පුතා අත හැරම දමා ඇත. එය එසේම විය යුතුයි. ඒ දරුවා ගෙනා ආයු එපමණයි. මව ඔහුු වෙනුවෙන් අපමණ දුක් වින්දාට සැකයක් නැත. ගෙතුළේ තබාගෙන ඒ මළ කඳ තව තවත් කඳුළු හෙළීමෙන් ඵලක් නැත. මිථ්‍යා මතවලට ගරු නොකරමු...
හිත හඬා වැටෙනවා පුතේ... ඔයාව බලන්නවත් හිතට දුකයි...
මේ වගේ කාලකන්නින්ට ළමයි හදන එක තහනම් කරන්න බැරිද? සත්තු බෝ කරනවා වගේ ළමයි බෝකිරීම නවත්තන්න ඕනෑ නේද? වනචාරීන් පරාදයි.
මේ වගේ ගොන් රටක නොඉපදේවා...!
රාහු කාලය බලලා ඡන්ද තියන කොමසාරිස්ලා ඉන්න රටක මේ ගම්වල මිනිස්සු ගැන මොන කතාද?
ඇයි මේ ළමයින්ට උප්පැන්නය ගන්න බැරි? ඒ මේ අය දුප්පත් නිසාද?
ඉතින් මෙතරම් මෝඩයොත් පාලකයෝ පත්කිරීමට ඡන්දය දෙන රටේ සංවර්ධනයක් කොහොම වෙන්නද? අස්වැසුම කියන්නේ මේ මෑතකදී ලබාදුන් සහනයක් නිසා මිනිහා අතහැර ගියා නොවෙයි ගෑනි මිනිහා අතහැර ඇවිල්ලා වෙන්න ඇති...
ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් මාලිමාව මාවනැල්ලෙන් ඉහළම ජයග්‍රහණයක් ලබාවි කියලා මේ ලිපියෙන් පේනවා...!
මිනිස් වෙසින් ඉන්න බූරු කතක්...!
ජීවත් වෙන්න ආසා හිතෙන රටක්.
පුහු මතයක් බව ඇත්ත. නමුත් මෙතන වරද කාගෙද? පසු ගිය 4 වැනිදා මිය ගිය දරුවාගේ සිරුර දින 17ක් ගත වන තුරු මවට බාර දී නෑ. ඒ වගේම දරුවාට අවුරුදු 9ක් වනතුරුත් උප්පැන්නයක් ලබා දී නෑ. පියා හැර ගිය දරුවන්ට උප්පැන්න සහතිකයක් ලබා දීමට නිසි ක්‍රම වේදයක් නෑ. ඒ වගේම නිසි අධ්‍යාපනයක් නොමැති නිසා විවිධාකාරයේ මිත්‍යා මත දරන එක සාමාන්‍ය දෙයක් වෙලා. මේ හැම දේකටම විසඳුම් තිබිය යුතුයි.
ඉතින් රජයෙන් මොකක්ද කරන්න කියන්නේ? මෙතන වෙනත් පසුබිම් කතාවක් තිබෙන බවක් තමයි පේන්න තියෙන්නේ.
ඉතාම කනගාටුයි
මේ අම්මාගේ තීරණය හරි.දින ගණනක් පසුවුනු දේශයක් නිසා පිළිකාවකට ඔපරේෂන් කරලා ඉන්න දරුවාගේ ජීවිතයට තර්ජනයක් වෙන්න ඉඩ තිබුනා.පුළුවන් දෙයක් තමයි කරලා තියෙන්නේ .පුතුට නිවන් සුව ලැබේවා
අස්වැසුම දෙන්න ඕනෑ අයට පැත්තකට වෙන අය දන්නවා...