IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පොසොන් සිරියෙන් රට සැනහේවා

ලෝක සිතියමේ ඇබැටක් තරම් වූ නයන පිනවන මේ රන් දිවයින ලෝකයේ මුදුනටම ඔසොවා තැබූ අදීන අදම්‍ය අපරාජිත ශ්‍රේෂ්ඨ සංස්කෘතියක උපත සිදු කළ අසිරිමත් මහින්දාගමනය බුදු බැතින් පිනා ගිය හදවතින් අනුස්මරණය කරන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ. රෝ දුක් දුරුව මුළු රටත් ලෝකයත් සන්සුන් සංහිඳියාවෙන් සපිරුණ අලුත් යුගයක් උදාවේවා යන්න ලංකාදීපයේ පොසොන් ප්‍රාර්ථනය වේ.

මුළු ලොවම වසාගත් මාරාන්තික කොරෝනා වයිරසයේ සැහැසි ග්‍රහණයට අප රටත් ගොදුරු වී තිබේ. එහෙයින් අපට වෙසක් මංගල්‍යය අහිමි විය. පොසොන් මංගල්‍යය ද අහිමිව තිබේ.

නිවෙස් තුළටම වී පොසොන් මංගල්‍යය සැමරීමට බොදුනුවන්ට සිදුවී තිබේ. ඇති තතු ඇති ආකාරයෙන් පිරිසිඳ දැකීමේ විසල් මනස බෞද්ධයා සතුය. එහෙයින් අකම්පිත මනසින් යුතුව සිය හදවත් පූජාසනයක් බවට පත් කර ගනිමින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර කිරීමට බෞද්ධයාට හැකියාව ඇත.

කිසිවක් ඉබේ සිදු නොවන බව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට දායාද කළ උතුම් බුදු දහමේ සඳහන් වේ. හේතුවකින් තොරව ඵලයක් හට නොගන්නා බව අවධාරණය කරන හේතුඵලවාදය උතුම් බුදු දහමේ මූලික පදනම වේ. ඒ අනුව මුළු ලෝකයත් මුළු රටත් ගිලී ඇති බියකරු වසංගතය අහේතුකව උපන්නක් නොවේ. මේ බියකරු වසංගතයට හේතුව කුමක්ද යන්න සන්සුන් මනසින් කියවා ගැනීමට පොසොන් පුර පසළොස්වක පොහොය කදිම අවස්ථාවක් විවර කර දී තිබේ.
මිනිසා යනු සොබාදහමේම කොටසක් විනා ඉන් පරිබාහිරව පවතින්නක් නොවේ. එහෙයින් මිනිසාට උරුම වූ ගමන වූයේ සොබා දහමත් සමඟ සහජීවනයට යාමය. එහෙත් සිමීත සම්පත්වලින් අසීමිත මිනිස් ආශා මුදුන්පමුණුවා ගැනීමට ගිය මිනිසා සොබාදහමත් සමඟ අඛණ්ඩව අනවරත ගැටුමක පැටලුණේය. සොබාදහම ගැන නොසිතන, නොසලකන ගමනකට මුලපිරුවේය. එය දිනෙන් දින වේගවත් වූවා මිස සැර බාල වූයේද නැත. නොයෙක් ආකාරයේ ස්වාභාවික විපත්, වසංගත රෝග පීඩා නිර්මාණය වූයේ ඒ අනුවය. මාරාන්තික කොරෝනා වසංගතය වූ කලී එහි නවතම ප්‍රකාශනය මිස අන් යමක් නොවේ.

මාරාන්තික වසංගතයක් හිසට ඉහළින් ලෙළදෙන විට තමන් පැමිණි ගමන විනාශකාරී බවත් අන්තවාදී බවත් මෙම ගමන කෙළවර වන්නේ පරාජයෙන් බවත් විනාශයෙන් හා මරණයෙන් බවත්  මිනිසා තේරුම් ගත්තේය. ඒ අනුව යළිත් සොබාදහම සමඟ සහජීවනාත්මක ගමනකට මිනිසා මුලපිරුවේය. ගෙවත්ත වගා බිමක් බවට පත් කිරීමට වෙහෙසුණේය. පුරන් කුඹුරු අස්වැද්දීමට යොමු වුණේය. මුඩුබිම් සරු බිම් බවට පත් කිරීමට උත්සහා දරන්නේය. මිනිසා විවිධ රෝග කාරක, මාරක වසංගත, ස්වාභාවික විපත් ආදියෙන් නූගත් පාඩම කොරෝනා මාරක වසංගතයෙන් ඉගෙන ගනිමින් සිටින්නේය.

බුදු දහම වූ කලී සොබාදහමත් සමඟ අත්‍යන්තයෙන්ම සංකලනය වූ දහමකි. සිදුහත් කුමරා උපත ලද්දේ කිඹුල්වත්නුවර ලුම්බිණි  සල් උයනේ දීය. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සියලු කෙලෙස් මුලිනුපුටා දමා ලොව්තුරා බුද්ධත්වයට පත් වූයේ බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවණේදීය. පිරිනිවන් පා වදාළේ කුසිනාරා නුවර උපවත්තන නම් සල් උයනේදීය. ජීවිතයේ අනියත බව උන්වහන්සේ පැහැදිලි කළේ ‘පූජේමි බුද්ධං කුසුමේන නේන’ යන ගාථාවෙහි දැක්වෙන පරිදි ‘මල පරවී යන්නා සේ සිරුරද විනාශ භාවයට පත් වේ’ යනුවෙනි.

ඒ උතුම් බුදු දහම රැගෙන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළේ සඳරැස් වැටුණු කල දිය දහරාවක් ගලා යන්නාක් මෙන් පෙනෙන චන්ද්‍ර කාන්ති පාෂණය පිහිටි මිස්සක පව්ච මතටය. මහකනදරා වැව පිස එන සීත සුළඟින් ඒ පරිසරය ‘සිත් නිවී’ සැනසීම් බවට පත් කළේය.

බුදු දහම අපට උරුම වූයේ ඒ සොබා දහමේ අසිරි සිරියත් සමඟය. අපගේ ගමන් මඟ වැටී ඇත්තේ ඒ සොබාදහම මතින්ය. එයින් පිට පැන්න ගමනක්, ඒ උරුමයට පිටු පා ගමනක් අපට නැත. ලෝක වසංගතයක් අපට කියා දෙන පාඩම එයට හිමි නිසි අර්ථයෙන් අප හඳුනා ගන්නේ නම් මෙබඳු ලෝක වසංගතවලට විලංගු ලෑමේ පළමු පියවර වන්නේද එයයි.

ඇඳිරි නීතියට කොටු වී නිවෙස් තුළටම වී අසිරිමත් මහින්දාගමනය සමරන බෞද්ධයා රටත් ලොවත් පත්ව ඇති ඉරණම භාවනා කමටහනක් බවට පත්කර ගන්නේ නම් අප පැමිණි ගමනේ දෝෂ තැන් මෙන්ම අනාගත ජයග්‍රහණ සඳහා කළමනා කටයුතු මොනවාදැයි නිවැරැදිවම වටහා ගැනීමේ ප්‍රඥාව පහළ වනු ඇත.



අදහස් (0)

පොසොන් සිරියෙන් රට සැනහේවා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 21487 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18104 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10836 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 529 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 163 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 823 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site