(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත  නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය  (04) දා නියෝග කළේය.

එසේම  සෑම මසකම අවසන් ඉරිදා දින පෙරවරු 9 -12 අතර කඩුවෙල පොලිසියේ පෙනී සිටින ලෙසත් අධිකරණයට අපහාස වන අන්දමේ සිද්ධීන් වලට ඉදිරියේදී චෝදනා එල්ල වූවහොත් ඇප අහෝසි කිරීමට පියවර ගන්නා බවට ද මහේස්ත්‍රාත් අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය .

මීට පෙර කඩුවෙල අධිකරණය ඉදිරියේ පැවති  විරෝධතාවක් අතරතුර දී අධිකරණයට අපහාස වන අන්දමේ ආකෘතියක් අධිකරණයේ නාම පුවරුවේ සවි කිරීමෙන් අධිකරණයට අපහාස වී ඇති බවට දුමින්ද නාගමුව  මහතාට චෝදනා එල්ල වී තිබුණි .

ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාට 2021.11.09 දා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි

ඒ අනුව  කඩුවෙල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් 04 දා දහවල් බොරැල්ල ප්‍රදේශයේ දී දුමින්ද නාගමුව මහතා අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ දුමින්ද නාගමුව මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසත්  සෑම මසකම අවසන් ඉරිදා දින පෙරවරු 9 - 12 අතර කඩුවෙල පොලිසියේ පෙනී සිටින ලෙසත් අධිකරණයට අපහාස වන අන්දමේ චෝදනාවකට ඉදිරියේදී ලක්වුවහොත් ඇප අහෝසි වන බවටත් අධිකරණය නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති .