(සුජිත් හේවාජූලිගේ)
ගණ වනාන්තර මැද හොර රහසේ කෙරෙන දැව ජාවාරම් හා ගංගා ආශ්‍රිතව කෙරෙන වැලි ජාවාරම් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ඩ්‍රෝන යානා විස්සකට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙයට අමතරව නිරීක්ෂණ ගුවන් යානා කීපයක් ද මේ කටයුතු සඳහා යොදවා ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.
විශේෂයෙන් ගණ වනාන්තර මැද හොර රහසේ සිදු කෙරෙන දැව ජාවාරම් අල්ලාගෙන එම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාපතිවරුනට සහ පොලිස්පතිවරයාට පසුගිය දා උපදෙස් දී ඇති අතර ඉහත ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ඒ අනුවය.
වනාන්තර මැද සිදු කෙරෙන දැව හෙළීම් පිළිබඳව යුද හමුදාව ප්‍රධාන ත්‍රිවිද හමුදා නිලධාරීන් විසින් සොයාගනු ලැබීමෙන් පසුව පොලිසිය සමග ඒකාබද්ධවී ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙන බව යුද හමුදා මූලස්ථානය පවසයි.
COMMENTS
යටින් කපන්න දීලා උඩින් ගිහින් බලනවා.. මොන විහිළුද මේ? දෙයියනේ හිනාකාලා මැරෙනවා.
ඩ්‍රෝන තාක්ෂණය නැතුව වුණත් කැලෑ පාලුවන් අල්ලන්න පුලුවන්... හැබැයි ඒකට පක්ෂ, පාට, හිතවත්කම් වලින් තොර දඬුවම් දීමේ ක්‍රම වේදයක් ඕනෑ. එහෙම නැතුව උදැල්ලට මිටක් කපන්න ගිය අහිංසක මිනිහාට දඬුවම් දීලා අක්කර ගණන් කැලේ කපන හිතවතුන්ට ආධාර අනුබල දෙන මේ ක්‍රමය නැති කරන්න බෑ.
මේ තරම් කැලෑ විනාශ කරිලා බැකෝ යන්ත්‍ර ආදි උපකරණත් හමුවෙලා එක්කෙනෙකුටවත් නීතිය ක්‍රියාත්මක කරේ නෑ. අඩු තරමින් උපකරණවත් රාජසන්තක කළේ නැහැ. දැන් ඩ්‍රෝන කැමරා යොදවන්න යනවා... නිකම් විහිළු සපයනවා. මේ සියල්ලෙන්ම රටේ සම්පත්, මුදල් විනාශ වෙලා.. රටට ගිය කලක්..!!!
ඕක මැදමූලන කාල්ටන් නිවස උඩ සෝදිසියට දැම්මා නම් හරි. ඔතන තමයි කැලය කපන අය එකතුවන තැන..
එතකොට අර කැලෑ කපලා දියපහරවල් අවහිර කරලා බඩ ඉරිඟු කෙහෙල් හිටවලා... ඒ මදිවට හෝටල් හදන්න පරිසරය විනාශ කරපු අයට ඔය ඩ්‍රෝන එකෙන් බලලා දඬුවම් කරනවද සර්...?
ඩ්‍රෝන කැමරා ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව කාටද?
දැන්වත් අපිට සුද්දාට යටත් වෙන්න තියනවා නම් කියලා හිතෙනවා