IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කළුබෝවිල රෝහලෙන් පොලිසියට චෝදනාවක්

කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණ 36න් 27කම හඳුනා නොගත් සිරුරු වසර දෙකක පමණ කාලයක සිට තැන්පත් කර තිබීමෙන් දෛනිකව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා යොමු කෙරෙන සිරුරු තැන්පත් කිරීමට පහසුකම් නොමැතිව කාර්ය මණ්ඩලය සහ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. වාර්තා වූ සැණින් හඳුනා නොගත් සිරුරු මෘත ශරීරාගාරයට යොමු කරනවා විනා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා මෘත දේහ ඥාතීන්ට බාර දීමට පොලිසිය දක්වන උදාසීන බව මෙම තත්ත්වයට හේතු වී ඇති බව ද අප පුවත්පත වාර්තා   කළේය.

අප රටේ සෞඛ්‍ය සේවය ගුණාත්මක බව අතින් ඉතා ඉහළය. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. සියවසකට පසුව පැමිණි කොරෝනා මාරක වසංගතය හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී මෙරට සෞඛ්‍ය අංශ පාමින් සිටි ප්‍රාතිහාර්යයෙන් ඒ බව මනාව ඔප්පු වේ. එවැනි ප්‍රාතිහාර්ය පෑව ද ඒ සඳහා වන අංගසම්පූර්ණ පහසුකම් සහිතව නොවන බවද සත්‍යයකි. සියලු පහසුකම් අංගසම්පූර්ණ නොවුවද අත්‍යවශ්‍ය පහසුකම් හෝ තිබිය යුතුය. අප ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ කළුබෝවිල ශික්ෂණ රෝහල තුළ එම අත්‍යවශ්‍ය පහසුකම් ද නොමැති බවය.

‘‘මරණය දුකක් වන්නේ මියගිය පුද්ගලයාට නොව ජීවත්ව සිටින්නවුන්ටය’ යනුවෙන් කියමනකි. ගෞරවාන්විත මරණයක් යනු ශිෂ්ට සම්පන්න සමාජයක තරාතිරම් බේදයකින් තොරව සියලු මිනිසුන්ට හිමි විය යුක්තකි. එහෙත් අප ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ කළුබෝවිල ශික්ෂණ රෝහලට දිනකට සිරුරු 6-8 අතර ගණනක් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කරන අතර ඇතැම් අවස්ථාවල දී එම සිරුරු තැන්පත් කිරීමට පවා පහසුකම් නොමැතිවීමෙන් බාරකරුවන් පැමිණෙන තුරු එම මළ සිරුරු ට්‍රොලියක් මත තැබීමට සිදුවන බවය. සිය සමීපතමයාගේ මරණයෙන් වේදනාවට පත්ව සිටින පිරිස්වලට එම මළ සිරුර තැන්පත් කර ඇති ආකාරය දකින විට අමතර වේදනාවක් ඇතිවීම වැළැක්විය නොහැකිය.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ තිබෙන්නේ වසර 20කට වඩා පැරැණි ශීතකරණ වේ. මෙම ශීතකරණවල මළ සිරුරු දෙකක් තැන්පත් කළ නොහැකිය. එකවරකට තැන්පත් කළ හැකි වන්නේ එක් මළ සිරුරක් පමණි. රෝහල සතුව පවතින සියලු ශීතකරණ සංඛ්‍යාව 36කි. එයින් 27කම මළ සිරුරු තැන්පත් කර තිබේ. ඉතිරිව ඇති ශීතකරණවලින් 2ක් වැදෑමහ තැන්පත් කිරීමට ද තවත් ශීතකරණ 3ක් ශල්‍යාගාර පහසුකම් සඳහා ද වෙන් කළ විට ඉතිරි වන්නේ ශීතකරණ 4ක් පමණි. පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා දෛනිකව ලැබෙන මෘත දේහ සංඛ්‍යාව 6-8ක් අතර වූ විට කාර්ය මණ්ඩලයත් ජනතාවත් මුහුණපාන දුෂ්කරතා වටහා ගැනීම අසීරු නැත.

මෙය වූ කලී රෝහලේ පාලනාධිකාරියේ ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිය. මෙතැන ප්‍රශ්නය තිබෙන්නේ රෝහල් පොලිසියේය. හඳුනා නොගත් මෘත දේහයක් සම්බන්ධයෙන් වාර්තා වූ සැණින් එම මෘත දේහය ශීතකරණයෙහි තැන්පත් කර රෝහල් පොලිසිය අත සෝදා ගන්නා බවක් පෙනේ.

රෝහල් පොලිසියේ රාජකාරිය සාමාන්‍ය පොලිස් රාජකාරිවලින් තරමක් වෙනස්ය. එම රාජකාරියේ දිග – පළල හා යනදුර සම්බන්ධයෙන් වහා අවබෝධයක් ද පුහුණුවක් ද රෝහල් පොලිස් සේවයේ නිලධාරීන්ට දිය යුතුය. එහෙත් අප දන්නා තරමින් එවැන්නක් සිදු නොවේ.

රෝහල් පොලිසියේ රාජකාරියට යොමු කෙරෙන්නේද පොලිසියේ දෛනික රාජකාරි යටතේය. වැඩ මුරය අවසන් කර නිවෙසට යෑම විනා වගකීමේ බර කරට ගෙන කටයුතු කිරීමක් දක්නට නොලැබේ. කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් වාර්තා වන්නේ එහි ප්‍රතිඵලය වේ.

හඳුනා නොගත් මෘත දේහ සම්බන්ධයෙන් ක්ෂණික පියවර ගත නොහැකිය. එය ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක් බව සැබෑවකි. හඳුනා නොගත් මළ සිරුරක් හඳුනා ගැනීම සඳහා කිසියම් කාලයක් ගත විය හැකිය. එහෙත් ඒ වෙනුවට මෘත දේහ ශීතකරණයක තැන්පත් කර අත පිසදා ගන්නේ නම් එය සාධාරණ නොවන්නා සේම පිළිගත හැකි ක්‍රම වේදයක් නොවන බව ද අවධාරණය කරමු.

(***)



අදහස් (1)

කළුබෝවිල රෝහලෙන් පොලිසියට චෝදනාවක්

tilak hapugoda Friday, 02 October 2020 07:33 AM

මේක ලොකු දෙයක් නොවේ. රෝහල් අධ්‍යක්ෂක පොලිසියට ඩෙඩ් ලයින් එකක් දීලා මෘත ශරීර භූමදානය කළාම ඉවරයි. අපිට ඉන්න රෝහල් අධ්‍යක්ෂකලා වැඩ බැරි අය...

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site