IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඔබේ දරුවත් ඇඟිලි උරනවාද?

කුරුණෑගල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ ප‍්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය - හර්ෂ මාරසිංහ

ළදරුවන් ඇඟිලි උරාබීම සාමාන්‍ය දෙයක්

ළදරුවන් මහපටැඟිල්ල හෝ වෙනත් ඇඟිලි උරාබීම ස්වාභාවික සංසිද්ධියක් වන අතර ඔවුහු මවු කුසේ සිටියදී පවා ඇඟිලි උරාබොති. මෙලොව එළිය දකින ළදරුවා ඔහුගේ හෝ ඇයගේ සිරුර ගැන ලෝකය ගැන බොහෝ දේ ඇඟිලි උරාබීමෙන් දැන ගනියි. එපමණක් නොව තමන්ගේ ඇඳුම් පැළඳුම් සෙල්ලම් බඩු හෝ අතට අසුවන  ඕනෑම දෙයක් උරා බොන්නට ඔවුහු නොපැකිළෙති. මේ කි‍්‍රයාවලයෙන් වඩා ප‍්‍රසන්න දේ මොනවාද අප‍්‍රසන්න දේ මොනවාද යන්න දරුවා ඉගෙන ගනියි. කෙසේ වුවද සීතල අයිස් වැනි දෙයක් හෝ වෙනත් සැහැල්ලූ දෙයක් ඉරීම පහසුවක් වුවත් තද ප්ලාස්ටික් වැනි දෙයක් ඉරීම දරුවාට අපහසුවක් ඇති කරනු ඇත.

ඇඟිලි ඉරීමෙන් ළදරුවා බොහෝ දේ ලබා ගනියි.

ළදරුවාට ඇඟිලි ඉරීම සුවදායක හැඟීමක් ඇති කරවන අතරම මනසට සැහැල්ලූවක් දැනෙන බැවින් ඇඟිලි උරන ගමන් පහසුවෙන් නින්දට වැටෙයි. එසේම ඇඟිලි ඉරීමෙන් දරුවා ආරක්‍ෂාව සහ සහනය ලබා ගන්නට උත්සාහ කරයි. ඒ අතරම බඩගින්න, හුදකලාව, වෙහෙස මහන්සිය නොසන්සුන් බව මගහරවා ගැනීමටද දරුවෝ ඇඟිල්ල උරති. කෙසේ වුවද මේ අයුරින් කෙටි කාලයක්  ඇඟිලි ඉරීම දත්වලට හෝ මුවට හානිකර තත්ත්වයක් ඇති නොවේ.

දිගු කලක් ඇඟිලි බීවොත්

ගැටලූවක් බවට පත්වන්නේ කිරිදත් වැටී ස්ථිර දත් මතුවන වයස වනවිට දරුවා ඇඟිලි ඉරීම නවත්වන්නේ නැතිනම්ය. සාමාන්‍යයෙන් වයස අවුරුදු 7 න් පසුත් දිගටම ඇඟිලි ඉරීමේ ක‍්‍රියාව සිදුවන විට මතුවන ස්ථිර දත්වලට පමණක් නොව ළදරු මුවේ වර්ධනයටද අහිතකර බලපෑමක් ඇති කරයි.

ඇඟිලි ඉරීම දත් වල වර්ධනයට බලපාන හැටි

1. උඩු හණුවේ ඉදිරිපස දත් ඉදිරියට නෙරා යාමට ඉඩ තිබේ.

2. දත් ඉදිරියට නෙරායාම නිසා එම දත් අනතුරුවලට භාජනය වීමට වැඩි ඉඩකඩක් ඇත.

3. උඩු හණුවේ සහ යටි හණුවේ ඉදිරි දත් අතර හිදැසක් ඇති වීම.

4. උඩු සහ යටි හණුවේ දත් සමපාත නොවී  දත් ඇඳි පළලින් අඩුවීමටත් හේතුවිය හැකිය.

5. දත් එකිනෙක සමපාත නොවීම නිසා දත් මාරු වී පිහිටීමට ඉඩ ඇත.

6. යටි ඇන්දේ දත් ඇතුළට නෙරා යාමට ඉඩ ඇත.

උඩු තල්ලේ හා දිවේ වර්ධනයට බලපෑම් ඇතිකරන හැටි.

1. ඇඟිලි ඉරීම නිසා උඩුතල්ලේ දෙපසට හා මෘදුතල්ලට ඇති කරන පීඩනයෙන් තල්ලේ ස්වභාවය වෙනස් වී හැඩයක් ගන්නා අතර තල්ල පළලින් අඩුවීමට ඉඩ ඇත.

2. තල්ල පළලින් අඩුවීම හේතු කොටගෙන දත් එකිනෙක සමපාත නොවීමෙන් කථන දුර්වලතා ඇතිවීමෙන් දරුවන් ගොත ගැසීමට ද සමහර විට ”නින්දේදී ගෙරවීමට”ද හේතු විය හැක.

3. කලක් ගතවන විට උඩු තල්ල මැදින් දිගට කාණුවක් ලෙසට සකස් වීමට ඉඩ ඇති අතර එමගින් හණුවේ හැඩය පමණක් නොව මුහුණේ හැඩයද වෙනස් විය හැක. එනිසාම, දිව එහා මෙහා හැරවීම අපහසු වීමෙන් කථනයේදී මෙන්ම ආහාර හැපීමටද ගිලීමටද අපහසුතා ඇතිවිය හැක.

ඇඟිලි ඉරීමෙන් දරුවාට ඇතිවිය හැකි වෙනත් බලපෑම්

1. උරාබොන ඇඟිල්ල තුවාලවීමටත් බැක්ටීරියා ආසාදනයට ලක්වීමටත් ඉඩ තිබේ. එසේම සිඟිති මුවට බාහිරින් විසබීජ ඇතුළු වීමටත් ඉඩ ඇත.

2. ඇඟිලි උරා බීම නිසා සම වයසේ දරුවන් අතර උසුළු විසුළුවලට ලක්වීමෙන් දරුවාට මානසික පීඩාවක් ඇතිවිය හැක.

3. දිව සෙලවීමට අපහසු වීමත් දත් විකෘති වීමත් නිසා දිව හා දත් භාවිත කරමින් සිදු කරන ස් , ට , ඩ , ල , න වැනි ශබ්ද උච්චාරණය කිරීම දරුවාට අපහසු විය හැක.

ඇඟිලි ඉරීම නවතාලිය යුත්තේ කුමන වයසේදීද?

සාමාන්‍යයෙන් දරුවෝ වයස අවුරුදු 2 ත් 3 ත් වන විට ඇඟිලි ඉරීම නවතා දමති. එහෙත් වයස අවුරුදු 6 ක් 7ක් වන විටත් දිගටම එම පුරුද්ද පවත්වන්නේ නම් මවුපියන්ගේ මැදිහත් වීම හා උපකාරය දරුවාට අවශ්‍ය වේ.  දරුවන්ගේ එම වයස වන විට පළමු චාර්වක දත් සමඟ යටි ඇන්දේ ඉදිරි දත් දෙක ද මතු වේ. ඇඟිලි ඉරීමෙන් මෙම ස්ථිර දත් විකසනයට බාධා ඇති කරන බැවින් මෙසේ මැදිහත් වීමක් අවශ්‍ය වේ. එසේ වුවත් මවුපියෝ බොහෝ විට ඒ සඳහා වැරදි උපක‍්‍රම තෝරා ගනිති. තරවටු කිරීම , කොහොඹ තෙල් ගෑම, ඇඟිල්ල ඇඳ විට්ටමේ බැඳ තැබීම, දඬුවම් කිරීම , විවේචනය කිරීම එවැනි වැරදි උපක‍්‍රම ලෙස සැළකිය හැකිය .

ඇඟිලි ඉරීම නවතාලීමට කුමක් කළ යුතුද ?

1. ඔබ දරුවාට ඇඟිලි ඉරීම නවතාලන ලෙස බල කළහොත් පුරුද්ද නැවැත්වීම වෙනුවට එය දිගටම පවත්වාවි. හොඳම උපක‍්‍රමය දරුවාටම එය එපා වීමට සැලැස්වීම හෝ පුංචි යහළුවන්ගේ විහිළු නිසා පුරුද්ද අත් හරින තෙක් ඉවසා සිටීමයි.

2. අනෙක් උපක‍්‍රමයක් වන්නේ දරුවා ඇඟිලි ඉරීම නවත්වා සිටින කාලය අනුව පුංචි ත්‍යාග ලබාදීමයි.

3. දරුවාට එක ඇඟිල්ලක් වෙනුවට ඇඟිලි පහම ඉරීමට යෝජනා කරන්න. මෙය දිගු කාලයක් කිරීම ඉතා අපහසු වන අතර ටික දිනකින් පුරුද්ද මුළුමනින්ම නවතා දමාවි.

4. සමහර විට ඔබ දරුවාට යෝජනා කළොත් ඇඟිලි ඉරීම ප‍්‍රසිද්ධියේ නොකිරීමට දරුවාට ඒ සඳහා ඉතිරි වන්නේ සුළු කාලයක් බැවින් ඇතිවන බලපෑම අඩුයි.

5. බොහෝවිට දරුවන් ඇඟිලි උරා බොන්නේ නිදා ගැනීමට ගියවිටයි.  එනිසා නිදා ගැනීමට සැරසෙන විට අත්මේස් කුට්ටමක් අත්වලට දමා ගැනීමට යෝජනා කිරීමට පුළුවන.

6. ඇඟිලි උරන වෙලාවට දරුවාගේ අත් වෙනත් ක‍්‍රියාකාරකමක යොදවන්න. උදාහරණයක් ලෙස බෝලයක් වැනි යමකින් අත් දෙකම භාවිත කරවීමට සැලැස්වූ විට ඔහුට පුරුද්ද අමතක වේ.

7. කෙසේවුවද දරුවාට තරවටු කිරීම හෝ දඬුවම් කිරිම නොකළ යුත්තේ දරුවාගේ මානසික තත්ත්වය එයින් පළුදුවිය හැකි බැවිනි. ඒ වෙනුවට දරුවා කෙරෙහි වෙනදාටත් වඩා ආදරය, සෙනෙහස, ලෙන්ගතුකම, අවධානය දැක්විය යුතුය.  දරුවාගේ හුදකලාබව නැති කර ඔහුට නිසි උණුසුම රැකවරණය ලබා දිය යුතුවේ. අනෙක් සියලූ උපක‍්‍රම පරදා ඔබ ජය ගනීවි.

8. සමහර විට දරුවා වෛද්‍යවරයා වෙත කැඳවා ගෙන ගොස් සාකච්ඡා කිරීමෙන් ඔබට ක්‍ෂණික ප‍්‍රතිඵල අත් කර ගත හැකිවනු ඇත.

9. මේ සියලූ උපක‍්‍රම අසාර්ථක වන්නේ නම් පමණක් පුරුද්ද නතර කරවීම සඳහා උපකරණ  පැළඳවීමට සිදුවනු ඇත.

10. කෙසේ වුවද වඩාත් යහපත් වනුයේ ඉබේම පුරුද්ද අත් හැරීමට ඉඩ දීමයි. එයට හේතුව දරුවාටද එය අත් හැරීමට අවශ්‍ය බැවිනි.



අදහස් (0)

ඔබේ දරුවත් ඇඟිලි උරනවාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site