(අංජුල මහික වීරරත්න)

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ මහජන චීන ජනරජයේ ජාතික ආගමන පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය Zhang Yong මහතා ප්‍රමුඛ චීන දූත පිරිස අතර සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේදී අද(14)පැවැත්විණි.

මෙහිදී දෙරටෙහි ආගමන විගමන පරිපාලනය, ප‍්‍රත්‍යන්ත පාලනය, හා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන කරුණු රාශියක් සාකච්ඡා කෙරුණු බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

අන්තර්ජාතික මට්ටමින් සිදු වන සංවිධානාත්මක අපරාධ , මිනිස් ජාවාරම්, සයිබර් අපරාධ , ආදී දෙරටෙහි ආරක්ෂාවට තර්ජනයක් වන ක‍්‍රියාකාරකම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලද අතර එකී ජාත්‍යන්තර තලයේ වන සංවිධානාත්මක අපරාධ මර්දනය සදහා දෙපාර්ශවයම අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා විය.

මෙහිදී චීන නියෝජිතයින් සඳහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකාව සඳහා මහජන චීන ජනරජයේ අඛණ්ඩ සහයෝගීතාවය ලබා දෙන බවයි.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ මහජන චීන ජනරජ තානාපති Qi Zhenhong, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජනරාල් චමින්ද පතිරාජ, පොලිස්පති නීතිඥ ප‍්‍රියන්ත වීරසූරිය මහත්වරු ද සහභාගී වූහ.