(විමුක්ති එස් රුද්‍රිගු)

අපනයන අදායමේ ඇතිවූ වර්ධනයට වඩා ශීඝ්‍රයෙන් ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් මෙම වසරේ පළමු මාස හය තුළදී මෙරට මුළු වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 ක් දක්වා පුළුල් වී ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව වෙළෙඳ හිඟයේ සියයට 66.67 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.

පසුගිය වසරේ පළමු මාස හය තුළදී මෙරට වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3ක් බවද එහි සඳහන් වේ. වෙළෙඳ හිඟය යනු, රටක් විදේශයන්ගෙන් මිලදී ගන්නා භාණ්ඩ හා සේවාවල වටිනාකම, එය විදේශ වෙළෙඳපොළට අලෙවි කරන භාණ්ඩ හා සේවාවල වටිනාකම ඉක්මවන විට ඇතිවන ආර්ථික දර්ශකයකි.

එහිදී මෙම වසරේ පළමු මාස හය තුළ මෙරට මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 10.43 ක් වී ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව මෙරට අපනයන ආදායමේ සියයට 3.3 ක වර්ධනයක් විය.

කෙසේ නමුත් මෙම වසරේ පළමු මාස හයේදී මෙරට ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 12.39 ක් වන අතර එය පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව ආනයනය වියදමේ සියයට 26.9 ක වර්ධනයකි.

එසේම මෙම වසරේ ජූනි මාසයේදී මෙරට මුළු අපනයන අදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.66 ක් වූ අතර එය පසුගිය වසරේ මෙරට මුළු අපනයන ආදායමට සාපේක්ෂව සියයට 0.6 ක වර්ධනයකි. මෙම වසරේ ජූනි මාසයේදී මෙරට ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.97ක් වී ඇති අතර එය පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව ආනයන වියදමේ සියයට 17.3 ක වර්ධනයක් විය.