ඉන්දිකා රාමනායක

 

හිටපු යුද හමුදාපතිවරයකු  වු ජෙනරාල් රොහාන් දළුවත්ත මහතා අද (27) දහවල් අභාවප‍්‍රාප්ත විය.

හදිසි අසනීප තත්ත්වයක්  හේතුවෙන් කොළඹ යුද හමුදා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියදී  ඒ මහතා  අභාවප‍්‍රාප්ත වී තිබුණි.

මිය යන විට 77 වැනි වියේ පසුවු ඒ මහතා ශි‍්‍ර ලංකා යුද හමුදාවවේ 14 වැනි යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කර තිබුණි.

1941.5.8 දින උපත ලබා  ඒ ඇති ඒ මහතා 1961 වසරේ කෙඩෙට් නිලධාරියකු වශයෙන් යුද හමුදාවට එක්ව ඇති අතර වසර 35 ක යුද හමුදා සේවා කාලය තුළ විවිධ නිළතල හොබවමින් ත‍්‍රස්තවාදය පරාජය කිරීමට විශේෂ දස්කම් දැක් වු නිලධාරියෙක් විය.

1996 -- 1998  වසර තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වැනි හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා 1996 වසරේ යාපනය අර්ධද්විපය ත‍්‍රස්තවාදීන්ගේ මුදා ගැනීමේ රිවිරැස මෙහෙයුම ආරම්භ කිරීමට පුරෝගාමී වු සෙන්පතියා බවට විය.

වසර 35 ක යුද හමුදා සේවා කාලයකින් පසු 1998 වසරේ යුද හමුදාවේ සේවයෙන් විශ‍්‍රාම ගිය ඒ මහතා පසුව එවකට ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයේ අණදෙන නිලධාරි (වත්මන් ආරක්ෂක මාණ්ඩලික  ප‍්‍රධානි)  වශයෙන් කටයුතු කළේය.

2002 - 2005 වසරේ ඒ මහතා බ‍්‍රසීල තානාපතිවරයා වශයෙන් ද කටයුතු කර ඇත.

යුද හමුදා සේවා කාලය තුළ දැක්වු දස්කම් හේතුවෙන්  වීර වික‍්‍රම විභූෂණ,  පරම වීර වික‍්‍රම,  උත්තම සේවා  පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණ,  ආදි පදක්කම්  රැසකින් ඒ මහතා පිදුම් ලබා තිබුණි.