(රංජන් කස්තුරි)
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සියලු සිසුන් මාසයක කාලයක් ඇතුළත කොතලාවල වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිපාලනයට උපදෙස් දී තිබේ.
පාර්ලිමේන්තු පනතට අනුව සුදුසුකම් සපුරා තිබෙන සියලු සිසුන් එලෙස කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කළ යුතු අතර ඇතුළත් කර ගන්නා අවසන් දිනයෙන් පසුව ලියාපදිංචිය ලබානොගත් සිසුන් පිළිබඳව වගකීමක් නොගැනීමටද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයේ පාලනාධිකාරිය සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද සහභාගී වූ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන තිබේ.
සයිටම් ගැටලුව සම්පුර්ණයෙන්ම නිමාවට පත්කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් හා මාර්ගෝපදේශ ලබා ගන්නැයිද එම සාකච්ඡාවලදී ජනාධිපතිවරයා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය පරිපාලනයට උපදෙස් දී ඇත.
සයිටම් සිසුන් ලියාපදිංචි කරගන්නා අවසන් දිනයන් ප්‍රකාශයට පත්කර ඒ බව පුවත්පත් දැන්වීම් හරහා ප්‍රසිද්ධ කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
COMMENTS
මේවගේ පාච්චල් වෙන්න නම් හරිම දක්ෂයි.
දැන් ඔය කොතලාවල ආයතනයේ වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකුනන්නේ නැද්ද? කොතලාවල ශීක්ෂණ රෝහලේ ඇති ඇඳන් ගණන් කලේ කවුද? ලාබදායි මුදලකට වෛද්‍ය අධ්‍යාපනය අලෙවිකරණ කොතලාවල ආයතනයට සයිටම් සිසුන්ට අධ්‍යාපනය ලැබීමට ප්‍රමාණවත් පහසුකම් ඇද්ද? නවක සිසුන් බඳවා නොගැනීම සිරි ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය මනින ප්‍රධාන සාධකයද? වෛද්‍ය මාෆියා සංගමයේ දොස්තරලා, වෛද්‍ය අධ්‍යාපනයට අමතරව රුකඩ කලාවත් හදාරා තිබේද?
රටේ අති දරුනු වෛද්‍ය විරෝධයක් පවතින බව පැහැදිලිය. මේ නිසා අධ්‍යාපනය සහ රෝහල් පෞද්ගලීකරනය කිරීම තුළින් සෞඛ්‍ය සේවය දියුණු කරන්න පුලුවන් නේද?