(රංජන් කස්තුරි)

වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් 19 කගේ ඉල්ලීමක් මත එහි වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට අද (18) දැනුම් දුන්නේය.
 
එම වෛද්‍යවරුන් ලෙඩ නිවාඩු දමා සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි අතර එහිදී වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය   පිළිබද කරුණු 26 ක් ඇතුලත් වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බාරදෙන දෙන ලදී. එය වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ එකමුතුව විසින් සකස් කර තිබූ අතර, එම කරුණු පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පවත්වන ලෙස එම වෛද්‍යවරු  සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. 
 
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් එම පරික්ෂණය ඉල්ලා පොලිස්පති වරයා වෙත ලිපියක් යොමු කිරීමට නියමිතය.
 
වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය වන නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් හිස්වන පුරප්පාඩුව සදහා වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ලෙස ඡේ.කේ මල්වත්තගේ මහතා පත් කිරීමට නියමිතය. මෙම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී තනතුර පුරප්පාඩු වී ඇති බැවින් 2018 වස‍රේ දී එය පිරවීමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. තව ද මෙම රෝහලේ වෛද්‍යවරුන් පිළිබදව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ විමර්ශනයේ වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.