(විනීතා එම් ගමගේ)
 
වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරියට ආරම්භ කරන්නැයි බල කෙරෙන උද්ඝෝෂණ හෙට (22) සිට ආරම්භ කරන බව වරාය අධිකාරියේ වෘත්තිය සමිති පවසයි.

 
වරායේ වෘත්තිය සමිති 23 ක් වන බවත් ඒවා සියල්ලෙහි සාමාජිකත්වය මෙම විරෝධතා සඳහා එක්වන බවත් වරාය ස්වාධීන වරාය සේවා වෘත්තිය  සමිතියේ සභාපති ලාල් බංගමුවගේ මහතා පැවැසීය.
 
හෙට (22) දහවල් 12 ට වරාය චෛත්‍යය ඉදිරිපිට දී මෙම විරෝධතා ආරම්භ කරන බවත් වෘත්තිය සමිති විසින් අද සිට වරායේ කළු සතියක් ප්‍රකාශයට පත්කිරීමට සූදානමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
 
නැගෙනහිර පර්යන්තය මෙහෙයුම් වරාය අධිකාරියේ පරිපාලනය යටතේ ආරම්භ කරන බවට පරිපාලනය විසින් සහතික කරන තුරු මෙවර විරෝධතා අඛණ්ඩව කරගෙන යන බව ද හෙතෙම වැඩිදුරටත් කියාසිටියේය.