(සුජිත් හේවාජුලිගේ හා අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට බ්‍රහස්පතින්දා කමිටු අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කර එය සරල බහුතරයකින් සම්මත කර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවැසීය.

පනත තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවටපැතිර යන කතාව අසත්‍යයක් යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

මහාචාර්ය ජී එල් පීරිස් මහතා එහිදී මෙසේද පැවසීය.

“වැරදි ප්‍රචාරයක් රට පුරා යනවා.වරාය නගර පනත තුනෙන් දෙකකින් සම්මත කරගන්න ඕන කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා කියලා.ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.නියම තත්වය මේකයි.රජය නීතිපති දෙපාර්තමේන්තුව හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළා.ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා පිළිගත්තා .නඩු තීන්දුවේ ඒක තියෙනවා.එම සංශෝධන කමිටු අදියරයේදී පනතට ඇතුළත් කළොත් එතකොට කිසිම ප්‍රශ්නයක්නෑ.එතකොට සරල බහුතරයෙන් පනත සම්මත කරගන්න පුලුවන් බව නඩු තීන්දුවේ ඉතාමත් පැහැදිලිව තියෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන රජය පිළිගන්නවා. බ්‍රහස්පතින්දා කමිටු අදියරේ දී සභානායකවරයා ඒවා යෝජනා කරනවා.ඒවා නීතියට අන්තර්ගත කළ පසු විශේෂ බහුතරයක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වගේම ජනමත විචාරණයක්ද කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ.සරල බහුතරයකින් මේ පනත සම්මත කරගන්න පුළුවන්".