(හර්ෂණ තුෂාර සිල්වා)

ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද අතුරු කමිටු වාර්තාව අවසන් ලියවිල්ල නොවන බැවින් එය රටේ සියලු පාර්ශවවල සංවාදයට විවෘත යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (4) කොළඹදී පැවැසීය.

එම අතුරු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා කීය. ඉන් අනතුරුව එය සියලු පාර්ශ්ව සඳහා සංවාදයට හා සාකච්ඡාවට විවෘත කරන බවත් සියල්ල ආශ්‍රයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පත සකසන බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

කොළඹ හිල්ටන් හෝටලයේ දී අද (04) පැවැති ‘8 වැනි සාර්ක් කලාපීය කතානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමුළුවේ’ ආරම්භ සැසියේ ප්‍රධාන දේශනය කරමින් අග්‍රාමාත්‍යවරයා එම කරුණු අනාවරණය කළේය.

ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීම, රට කිසිදු අයුරකින් නොබෙදීම, හා බුදුදහමට ප්‍රමුඛත්වය දෙමින් කිසිදු ආගමකට මදි පුංචිකමක් නොකරමින් සියලු ආගම්වලට සමානව සැලකීමට පොදු එකඟත්වයක් ඇති බවත් වික්‍රමසිංහ මහතා එහිදි කීවේය.    

එහිදි අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“ රාජ්‍යයේ ස්වභාවය, දෙවැනි මණ්ඩලයක් පවත්වාගෙන යනවාද නැත්ද යන්න, මැතිවරණ ක්‍රමය, ශ්‍රේෂ්ඨාධිකරණයට අමතරව ව්‍යවස්ථාදායක අධිකරණයක් පවත්වාගෙන යාම ආදී කරුණු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා. අතුරු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නවා. ඉන් අනතුරුව සියලු පාර්ශවවල සංවාදයට කමිටු වාර්තාව ඉදිරිපත් කරනවා. දේශපාලන පක්ෂවලින් තොරව අනෙකුත් පාර්ශව සමඟ සාකච්ඡා කරනවා. සංවාදයට යොමු කරනවා. පොදු විවාදයකට යොමු කරනවා. ඉන් අනතුරුවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසෙන්නේ. අද අපේ පක්ෂ සියල්ලම මේ කමිටු වාර්තාවට එකඟත්වය පළ කර තිබෙනවා. ඒ මත පිහිටා කටයුතු කළහොත් වාර්ගික ප්‍රශ්නය ඇතුළු සියලු ප්‍රශ්න විසඳා ගැනීමට අපට හැකියාව ලැබෙනවා” යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

(ඡායාරූප-ගයාන් අමරසේකර)